Local news

ප්‍රදේශ රැසකට තද වැසි

ප්‍රදේශ රැසකට තද වැසි

අද (03) දින සවස් කාලයේදී ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල, ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. 

අමානුෂික ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 9ක් අත්අඩංගුවට

අමානුෂික ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 9ක් අත්අඩංගුවට

තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු මට්ටක්කුලිය පොලීසිය විසින් (02) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19ත් 40ත් අතර වයසේ පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය (31) රාත්‍රියේදී මට්ටක්කුලිය, ගැමුණුපුර ප්‍රදේශයේදී අදාළ ඝාතනය සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විශාල පිරිසක් ඝාතනය කළ පිල්ලෙයාන්ගේ වධකාගාරය.. සියල්ල හෙළිවෙයි

විශාල පිරිසක් ඝාතනය කළ පිල්ලෙයාන්ගේ වධකාගාරය.. සියල්ල හෙළිවෙයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නීතිපති උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාර කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය (02) නියෝග කළේය.

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ,

“ස්වාමිනි, මේ සැකකාර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සෙවනපිටිය ප්‍රදේශයේ වධකඳවුරක් පවත්වාගෙන ගිහින් තියෙනවා.

එම ස්ථානයට සිවිල් පුද්ගලයින්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවකයින් මෙන්ම පොලිස් නිලධාරීන් වගේ විවිධ පුද්ගලයින් ගෙන ගොස් දරුණු වධහිංසාවට ලක්කිරීම්, කප්පම්ගැනීම් මෙන්ම මරා දැමීම්ද සිදුකර තිබෙනවා.

මේ ප්‍රශ්නගත මහාචාර්යවරයාත් පැහැරගෙන ගොස් රඳවාගෙන ඉඳලා ඝාතනය කරලා පුළුස්සලා තියෙන්නේ මේ ස්ථානයේදීයි. සාක්ෂිකරුවන් දෙදෙනෙක් ප්‍රකාශ ලබාදී තිබෙනවා එම මහාචාර්යවරයා මේ කඳවුරේ රඳවාගෙන ඉදලා පසුව ඝාතනය කළා කියලා.

ඇතැම් ඝාතන වලින් පසු මෘතශරීර එම කඳවුරේම වළදමා ඇති බවටයි දැනට සාක්ෂි අනාවරණය වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කැඳවපු වාර්තාවක දැක්වෙනවා මේ සැකකරුට මෙවැනි කඳවුරක් පවත්වාගෙන යාමට කිසිදු නෛතික බලයක් ලබාදී නැහැ කියලා.

ඒ වගේම පැවති දේශපාලන වාතාවරණය මත එකල ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම සැකකරුගේ පාර්ශ්වයට නිකුත් කර තිබූ T56 ගිනිඅවි 352ක්, 9mm වර්ගයේ ගිනිඅවි 36ක් සයි මයික්‍රෝ වර්ගයේ එක් ගිනිඅවියක් නැවත ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදී නොමැති බවද එම වාර්තාවේ දැක්වෙනවා.

ඒ අනුව ස්වාමිනි මෙම සැකකරු එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 296 මිනිමැරීම යටතේ චෝදනා ගොනුකරනවා.”

වෛද්‍යවරුන්ගේ තර්ජන වලට බය නෑ.. ඇමති නලින්ද දැඩි තීරණයක

වෛද්‍යවරුන්ගේ තර්ජන වලට බය නෑ.. ඇමති නලින්ද දැඩි තීරණයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කළ වැඩ වර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එය හුදෙක් දේශපාලනිකව රජය අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් සිදු කරන්නක් බවද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

සීමාවාසික පුහුණුව අවසන් කළ නවක වෛද්‍යවරුන් 453 දෙනෙකුට රජයේ සේවයට එක්වීමට ඇති අවස්ථාව GMOA විසින් අවහිරකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එහෙත් සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට ලබාදී ඇති කාලය එළැඹෙන සෙනසුරාදා දහවල් 12.00න් අවසන් වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එළැඹෙන සෙනසුරාදා දහවල් 12.00න් පසුව දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බැවින් කාගෙවත් තර්ජනයට හෝ කාගෙවත් විකෘති සහගත ප්‍රකාශ වලට අහුවෙන්නේ නැතුව ඉල්ලුම් කරන ලෙසද අමාත්‍යවරයා සඳහන් කරයි.

යම් හෙයකින් වෛද්‍යවරුන්ට පත්වීම් ලබා ගැනීමට බාධා කරන හෝ තර්ජනය කරන කණ්ඩායම් සිටී නම්, ඒ පිළිබඳව වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“මේ වැඩ වර්ජනයට කිසිදු පදනමක් නෑ. මොකක්හරි හේතුවක් අල්ලගෙන දේශපාලනිකව ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ වුවමනාව හැර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ වැඩ වර්ජනය කරන්න කිසි සාධාරණ හේතුවක් තිබුණේ නැහැ.”

“මේකට කිසිඳු පදනමකුත් නැහැ. මේකෙන් කාටවත් සුගතියක් වෙන්නෙත් නැහැ. සෙනසුරාදා දවල් 12.00 වෙනකොට රජයේ සේවයට ඇතුළත් කිරීම සඳහා යම්කිසි වෛද්‍යවරයෙක් නේවාසික පුහුණුවෙන් පසුව ඉල්ලුම් කරේ නැත්නම්, ඔහුට රජයේ සේවයට ඇතුළත් වෙන්න බැහැ.

දැන් ඒ අය ඉන්න රෝහල්වලින් ඒ අයගේ සේවාව අවසන් වෙනවා. ඊළඟට ඒ අයගේ වැටුප් නතර වෙනවා. එතකොට ඒ අයට සිද්ධවෙන්නේ උපාධිය ලබාගෙන සීමාවාසික පුහුණුව අවසන් කරලා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච වෛද්‍යවරු හැටියට පුද්ගලික සේවයේ නිරත වෙන්න.

ඉල්ලුම් නොකරපු කිසිම කෙනෙක්ට රාජ්‍ය සේවයට ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට මේ කියන්නේ, ඔබ කිසිවෙකුට බය වෙන්න එපා. 

ඔබට කවුරුහරි කණ්ඩායමක් හැටියට හෝ පුද්ගලයෝ හැටියට රජයේ සේවයට ඇතුලත් කිරීම සඳහා අයදුම් කිරීමට එරෙහිව ඔබව බියගන්වන ආකාරයට යම් තර්ජනයක් කරලා තිබෙනවා නම්, වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ ගැන පැමිණිලි කරන්න.” 

බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් පත් කරයි

බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් පත් කරයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර පත්කර ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකු වන ඔහු මීට පෙර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කර ඇත.

ගම්මන්පිල ළගට ගියේ සජිත්ගේ රූපකාය AI

ගම්මන්පිල ළගට ගියේ සජිත්ගේ රූපකාය AI

උදය ගම්මන්පිලගේ පාස්කු ඉරිදා මහ මොළකරු කෘතිය එළිදැක්වීමේ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වූ බවට තමා කිසිසේත් විශ්වාස නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පොඩි මොළ කාරයෝ එතන සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම අවස්ථාවට එක්ව සිටින අයුරු දැක්වෙන දර්ශන කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරමින් නිර්මාණය කරන ලද ඒවා බවද මන්ත්‍රී නලීන් බණ්ඩාර සඳහන් කරයි.

සහරාන්ට වඩා බලවත් මහ මොළකරුවකු මෙම ප්‍රහාරය පිටුපස සිටින බවත් එම පුද්ගලයා කවුරුන් වුවද ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව තමා විශ්වාස කරන බවද මන්ත්‍රී නලීන් බණ්ඩාර සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නලීන් බණ්ඩාර සඳහන් කළේ,

“එතුමගෙන් තමා අහන්න ඕන. මම හිතන්නේ එතුමා නෙමෙයි ගියේ. AI වලින් එතුමාව දාලද කොහෙදෝ. එතුමාට යන්න බෑ එතනට. මම විශ්වාස කරන්නේ නෑ එතුමා ගියා කියලා.”

ජල කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

ජල කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

පවතින කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ඉදිරියේදී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය සහ යල කන්නයේ වී වගාව ආරම්භ වීමත් සමඟ සිදු කළ යුතු ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (02) පස්වරුවේ පැවැත්විණි.

ඉදිරි පුරෝකථනයන්ට අනුව මේ වසරේ ලැබිය හැකි වර්ෂාපතනය පිළිබඳවත්, එමෙන්ම දැනට ජලාශවල පවතින ජල ප්‍රමාණයන් පිළිබඳවත් මෙහිදී සංඛ්‍යා දත්ත මත පදනම්ව කරුණු සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන් බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජල විදුලි නිෂ්පාදනය, පානීය ජල අවශ්‍යතා සැපිරීම මෙන්ම යල කන්නයේ වගාවන්ට අවශ්‍ය ජලය මුදා හැරීම යන කරුණු මත පදනම්ව අවශ්‍ය ජල කළමනාකරණය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

පිල්ලෙයාන්ට දුන් නියෝගය

පිල්ලෙයාන්ට දුන් නියෝගය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (02) පස්වරුවේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඉන්පසු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

රැදවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වූ රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවට පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කරයි.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ද පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කරයි.

රජය ගෙන යන වැඩපිළිවෙළට IMF නියෝජිතයන්ගේ ප්‍රසාදය

රජය ගෙන යන වැඩපිළිවෙළට IMF නියෝජිතයන්ගේ ප්‍රසාදය

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ මේ වනවිට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (02) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූහ.

මෙහිදී විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර මෑතකාලීන ආර්ථික වර්ධනයන් මෙන්ම, දැනට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව නියෝජිත පිරිස ජනාධිපතිවරයා සමඟ අදහස් හුවමාරු කර ගත්හ.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව අත් කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් විය.

විශේෂයෙන්ම, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, විධිමත් ලෙස ආදායම් කළමනාකරණය සහ විදෙස් සංචිත ශක්තිමත් කිරීම මගින් මෙරට ආර්ථිකය පැවති තත්ත්වයට සාපේක්ෂව වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් බවට පත් වී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.

ළඟා කර ගත් ආර්ථික ස්ථායිතාව පවත්වාගෙන යමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට එල්ල වී ඇති බාහිර අභියෝගය හමුවේ ඉන්ධන මිල සහ බලශක්ති සැපයුම කෙරෙහි සිදුව ඇති බලපෑම කළමනාකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මහජනතාවට ඇති වන දුෂ්කරතා සහ බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමේ වැදගත්කමද අවධාරණය කළේය.

මෙම බාහිර අභියෝග මධ්‍යයේ වුවද, ළඟා කරගත් ආර්ථික වර්ධනය පවත්වා ගනිමින් මෙරට ජන ජීවිතය සහ ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ප්‍රසාදයට ලක් විය.

මම කියන්නේ ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව පිටුපස ඉන්නවා

මම කියන්නේ ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව පිටුපස ඉන්නවා

ගල්අඟුරු වංචාව සිදු කළ පුද්ගලයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි. 

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අපි හැමෝම දකිනවා මේ රටේ විධායක ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ජනාධිපතිවරයාගේ හැම ප්‍රකාශයක්ම ජනාධිපතිවරයාගේ හැසිරෙන විදිය බැලුවම සහ ඔවුන්ව ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගන්න හැම ක්‍රියා කලාපයක්ම බැලුවම පැහැදිලි වෙනවා මේ රටේ විධායක ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව පිටුපස ඉන්නවා.

මොකද ඔය කියන පුද්ගලයා මේ රටේ ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමති කාලයේ අමාත්‍යාංශයට ගේන්නේ. ඉතින් ඒ ගෙනල්ලා පහු කාලීනව ඔහුට දැන් අධි චෝදනත් ලැබිලා තියෙනවා කරපු වංචාවක් සම්බන්ධයෙන්. ඒ හා සමාන වංචාවක් දැන් ගල්අඟුරු ගෙනල්ලත් සිද්ධ කරලා තියෙනවා.

ඉතින් කලින් ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නකොට රජයේ ඉහළ තනතුරකට පත් කරලා පහු කාලීනව අධි චෝදනාවත් ලැබිලා දැන් ඔහුව කැබිනට් ඇමතිවරයෙක් කරලා බාල ගල් අඟුරු ගෙනල්ලා තවදුරටත් ඔහුව ආරක්ෂා කරනවා නම් ජනාධිපතිවරයාට මේක බැලූ බැල්මට වංචාවක් ලෙස පේන්නේ නැත්නම් පැහැදිලිවම මේ වංචාව පිටුපස්සේ ඉන්නේ මේ රටේ විධායක ජනාධිපති අනුර දිසානායක මහත්තයා.”

පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.