Local news

විදෙස් ජාතිකයින් 54ක් හික්කඩුවේදී අත්අඩංගුවට

විදෙස් ජාතිකයින් 54ක් හික්කඩුවේදී අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය විසින් පරිගණක අපරාධ වලට සම්බන්ධ බවට සැකපිට විදෙස් ජාතිකයින් 54 දෙනෙකු හික්කඩුවේ සංචාරක හෝටලයකදී (11) අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස් ජාතිකයන් පිරිසක් පරිගණක අපරාධ සඳහා හික්කඩුව, දොඩන්දූව ප්‍රදේශයේ රැඳී සිටින බවට පසුගියදා බූස්ස යුද හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ වැටලීම් ඒකකය හා හික්කඩුව පොලීසිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර විදෙස් ජාතිකයන් 54 දෙනෙකු දොඩන්දූවේ පිහිටි සංචාරක හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයන් අතර ඉන්දීය ජාතිකයන් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 19 දෙනෙකු සිටින බව එම නිලධාරින් සඳහන් කරයි.

ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන දෙසියයකට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිගණක 25ක් පොලිස් භාරයට ගෙන ඇත.

විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට.?

විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට.?

ආණ්ඩුවක් හැටියට රටේ උගත්, බුද්ධිමත්, දැනුම තියෙන, ප්‍රායෝගිකත්වය තියෙන මිනිස්සු එකතු කරලා තියෙන බවත් තවත් ඉන්න පුද්ගලයින් එකතු කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.

එනිසා විපක්ෂයේ සිටින දක්ෂයින් ආණ්ඩුවට එකතු කරගන්නා බවත් ඔවුන් සමග රට ඉදිරියට ගෙන යාමට සූදානම් බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.

අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ,

“දක්ෂ මිනිස්සුන්ට අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා, විපක්ෂයේ ඉන්න තේරුම් ගත්ත මිනිස්සු අපේ යෝජනා, අදහස් එක්ක එකතු වෙලා වැඩ කරන්න එනවා නම් රට ඉස්සරහට යන්න ඒ දක්ෂ මිනිස්සු ආණ්ඩුව ඇතුළෙ අපේ වැඩවලට එකතු කරගන්නවා.”

ප්‍රසාද්ගෙන් මිලියන 500ක වන්දි ඉල්ලා කුමාරගෙන් එන්තරවාසියක්

ප්‍රසාද්ගෙන් මිලියන 500ක වන්දි ඉල්ලා කුමාරගෙන් එන්තරවාසියක්

රැස්වීමකදී සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන වෙත එන්තරවාසියක් යොමු කර ඇත.

නීතිඥයෙක් මාර්ගයෙන් යොමු කරන ලද මෙම ලිපියට අනුව, පසුගිය මාර්තු (22) වනදා හෝ ඊට ආසන්න දිනක පැවති මාධ්‍ය හමුවකදී ප්‍රසාද් සිරිවර්ධන විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මූල්‍ය අවභාවිත කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත.

වසර 30කට අධික විධායක අත්දැකීම් සහිත සුදුසුකම් ලත් ඉංජිනේරුවරයෙකු වන කුමාර ජයකොඩි සිය වෘත්තීය සහ දේශපාලන ජීවිතය පුරා නිකැළැල් චරිතයක් පවත්වාගෙන ගොස් ඇති බව එම ලිපියේ සඳහන් වේ.

අදාළ චෝදනා පදනම් විරහිත බවත් එමගින් කුමාර ජයකොඩිගේ පෞද්ගලික කීර්ති නාමයට මෙන්ම ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගයේ ප්‍රතිරූපයට හානි කිරීමේ චේතනාවෙන් මෙම ප්‍රකාශ සිදුකර ඇති බවද එම ලිපියේ සඳහන් වේ.

එනිසා සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක්, දින 14ක් ඇතුළත එම ගෙවීම් සිදු කරන ලෙස ප්‍රසාද් සිරිවර්ධනට දන්වා ඇත.

තවද නියමිත කාලය තුළ එම මුදල නොගෙවන්නේ නම් නෛතික පොලිය සහ නඩු ගාස්තු සහිතව එය අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද එම එන්තරවාසිය මගින් අවධාරණය කර ඇත.

“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට

“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට

“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය සඳහා 2026 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදනවලින්, මේ වන විටත් රුපියල් මිලියන 23,000ක සංවර්ධන ව්‍යාපෘති අනුමත කර, ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර තිබේ.

ජීවනෝපාය සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාවට අදාළව ප්‍රජා සංවර්ධන සභා මගින් ප්‍රමුඛතාගත කළ ව්‍යාපෘති වෙනුවෙන් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත.

‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරයේ මෙතෙක් ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ බව අනාවරණය කෙරිණි.

ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සහ ග්‍රාමීය ප්‍රජාව නඟා සිටුවීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා ව්‍යාපෘතිය, ඉන් ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය සහ ජන ජීවිතය නංවාලීම වෙනුවෙන් එය කොපමණ දායක වන්නේද යන්න පිළිබඳ නිරන්තර පසු විපරමකින් කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රජා සංවර්ධන සභා 13,977ක් මේ වන විට පිහිටුවා අවසන් බව මෙහිදී පෙන්වා දුන් නිලධාරීහු එම ප්‍රජා සංවර්ධන සභා වෙනුවෙන් ලබාදී ඇති මුල්‍ය ප්‍රතිපාදන පිළිබඳවද ජනාධිපතිවරයා දැනුවත් කළහ.

“ප්‍රජා ශක්ති” ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති ඒකකවලට අවශ්‍ය පහසුකම් සැපයීමට ගෙන ඇති පියවර සහ ප්‍රජා සංවර්ධන සභාවල නිලධාරින් දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

මහා පරිමාණ ඖෂධ වංචා නඩුවට රෝද පුටුවෙන් ආ කෙහෙළිය

මහා පරිමාණ ඖෂධ වංචා නඩුවට රෝද පුටුවෙන් ආ කෙහෙළිය

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් පද්ධතියට සැපයීම, මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනේ.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයා සහ වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු ද විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

ඖෂධ මිලදී ගැනීමේදී රජයේ මුදල් අවභාවිත කිරීම, රජයට පාඩු සිදුකිරීම සහ ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ බෙදාහැරීමට කටයුතු කිරීම ඇතුළු චෝදනා රැසක් ඔවුන්ට එරෙහිව ගොනු කර ඇත. 

ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව කැඳවයි

ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව කැඳවයි

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ලබන (25) වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර ශෂී විරවංශ අධිකරණයේ පෙනී සිටියාය.

මෙම නඩු විභාග ආරම්භ කිරීමට පෙර සාක්ෂි වශයෙන් යොදාගන්නා ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා විත්තියට අවකාශ ලබා දෙනවා ද, ඒ පිළිබඳ ස්ථාවරය මීළඟ දින දැනුම්දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

අනතුරුව මෙම නඩුව ලබන (25) වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙක් බන්ධනාගාරයේදී මරුට

අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙක් බන්ධනාගාරයේදී මරුට

වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු ගොඩනැගිල්ලකින් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි අයෙකි. 

මහින්ද වෙනුවෙන් හිටපු මැති ඇමතිලා සමග සියයක් කොළඹට

මහින්ද වෙනුවෙන් හිටපු මැති ඇමතිලා සමග සියයක් කොළඹට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට (12) දින උදෑසන 9.00ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හෙට (12) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ලිපියක් මගින් දැනුම් දී තිබුණේය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට (12) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

එම ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කළේ, තමන්ට ලද අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලින් රුපියල් මිලියන 60ක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන් බවයි.

මේ අතර හෙට (12) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණෙන විට, එම ස්ථානයට සියයක පමණ පිරිසක් රැගෙන පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එම පිරිස සමග හිටපු මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එලෙස පැමිණෙන සියයක පමණ පිරිස මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදී එළියට පැමිණෙන තෙක් එම ස්ථානයේ රැදී සිටීමට නියමිත බව වාර්තා වේ.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී 10.1N, 82.5E ආසන්නයේ පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම බලපෑම හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් තද සුළං ඇති විය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවද සඳහන් කරයි.

කෙසේ වෙතත් අද (11) දින නිකුත් කළ දත්ත මත පදනම්ව ඉදිරි පැය 48 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාවක් නොමැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මහින්ද පලා යන්නේ නෑ.. එහෙත් සලකා බැලිය යුතුයි

මහින්ද පලා යන්නේ නෑ.. එහෙත් සලකා බැලිය යුතුයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට (12) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

හෙට (12) දින උදෑසන 9.00ට අල්ලස් කොමිසම හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙනී සිටිනු ඇති බවද නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

කෙසේ වෙතත් යම් නීතිමය කරුණු සම්බන්ධව සාකච්ඡා කළ යුතු බවත් අද පස්වරුවේ පැවැත්වෙන නීතීඥ කණ්ඩායමක් හමුවේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළේ,

“දැනට අපි තීරණය කරලා තියෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම පැමිණෙන්න. මොකද එතුමා කවදාවත් ප්‍රශ්න වලින් පලා යන කෙනෙක් නෙමෙයි. නමුත් යම් යම් නීතිමය කාරණා තියෙනවා අපි සලකා බැලිය යුතුයි.

ඒ සම්බන්ධව අද හවස පැවැත්වෙන සාකච්ඡාවේදී නීතිඥ කණ්ඩායමක් විසින් කරුණු සලකා බලනවා. නමුත් අපේ දැනට තීරණයේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ අනුව එතුමා හෙට සහභාගී වෙන්න නියමිතව සිටිනවා.”