“පොදු එක් නීතියක් ගේනවා”

තමන් ජනාධිපති ධුරයට පත් වූ දා සිට දේශගුණික අභියෝග ජය ගැනීමේ වැඩපිළිවෙළ සඳහා ප්‍රමුඛතාවයක් ලබා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

දේශගුණික විපර්යාසයන් ඉටු කරන වැදගත් කාර්යභාරය අප වටහා ගත යුතු බවත් පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වන හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය වීම කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

පසුගිය දින කිහිපයේ සිට මෙරට මුහුණ දිමට සිදුව තිබෙන දැඩි හිරු රශ්මිය අනාගතයේ අයහපත් දේශගුණික විපර්යාසවල සලකුණක් බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

” මම ජනාධිපති ධුරයට පත් වූ දා සිට දේශගුණික අභියෝග ජය ගැනීමේ වැඩපිළිවෙළ සඳහා ප්‍රමුඛතාවයක් ලබා දුන්නා. ඒ වෙනුවෙන් මගේ කාර්යාලයේ දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඒ පිළිබඳ උපදේශකවරයෙකුද පත් කිරීමට කටයුතු කළා.

මෙතෙක් අපේ අවධානය යොමුව තිබුණේ පරිසරය පිළිබඳව පමණයි. නමුත් ඒ තුළ දේශගුණික විපර්යාසයන් ඉටු කරන වැදගත් කාර්යභාරය අප වටහා ගත යුතුයි. දේශගුණික විපර්යාස ඉහළ ගියහොත් සමස්ත පරිසරයම නරක අතට හැරෙනු ඇතියි.

ඒ නිසා, දේශගුණික විපර්යාසවලට අපට අනුගත විය හැකි ආකාරය සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කළ හැකි ආකාරය පිළිබඳ අප නිරන්තර අවධානයෙන් කටයුතු කළයුතු වෙනවා. පසුගිය දින කිහිපයේ සිට අපට මුහුණ දිමට සිදුව තිබෙන දැඩි හිරු රශ්මිය අනාගතයේ අයපහත් දේශගුණික විපර්යාසවල සලකුණක් පමණයි.

ජනාධිපතිවරයා ලෙස මගේ කාර්යය බවට වුණේ රටේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමයි. මේ වන විට එම වැඩපිළිවෙළ සාර්ථක ලෙස අවසන් වෙමින් තිබෙන අතර අප දැන් ඊළඟ පියවර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. දැනට රටේ පවතින ආර්ථික ක්‍රමය තුළ අපට ඉදිරියට යා නොහැකියි.

මා මීට පෙර අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබෙන ආකාරයට අපනයන සඳහා නැඹුරු වූ ඉහළ තරගකාරී ආර්ථිකයක් බවට අප පරිවර්තනය විය යුතුයි. ඒ වෙනුවෙන් නව නිති සම්පාදනයට ද අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම ආර්ථික පරිවර්තන පනත බොහෝ විට ලබන සතියේ ගැසට් පත්‍රයේ පළ කිරීමට අපේක්ෂා කරනවා.

‍මෙම ආර්ථික පරිවර්තන පනත මඟින් 2050 වන විට ශ්‍රී ලංකාව ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වයට පත්වීමේ ඉලක්කය කරා ළඟා වීම ද සහතික කෙරෙනවා.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (07) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ආරම්භ වුණු ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව (Sri Lanka Climate Summit) අමතමිනි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS