Foreign news

අමෙරිකාවේ අසාර්ථකත්වය හෝමූස් සමුද්‍ර සන්ධියේ නව පරිච්ඡේදයක්

අමෙරිකාවේ අසාර්ථකත්වය හෝමූස් සමුද්‍ර සන්ධියේ නව පරිච්ඡේදයක්

අමෙරිකාවේ ලැජ්ජා සහගත අසාර්ථකත්වය මධ්‍යයේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නව පරිච්ඡේදයක් මතුවී ඇති බව ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“අද කලාපයේ ලෝකයේ විශාලතම ව්‍යාපාරය සහ ආක්‍රමණශීලීත්වය සහ අමෙරිකාව තමන්ගේම සැලැස්මේ ලැජ්ජා සහගත අසාර්ථකත්වයෙන් මාස දෙකකට පසු, පර්සියානු ගල්ෆ් සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නව පරිච්ඡේදයක් මතුවෙමින් තිබේ.”

ජනපති ට්‍රම්ප් සහ තෙල් සමාගම් අතර විශේෂ හමුවක්

ජනපති ට්‍රම්ප් සහ තෙල් සමාගම් අතර විශේෂ හමුවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ නිලධාරීන් පිරිසක්, අමෙරිකාවේ ඉන්ධන සහ ගෑස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම්වල නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

තවත් මාස ගණනක් ඉරානයේ වරායන් අවහිර කිරීමේ මෙහෙයුම පවත්වාගෙන යාමේ ශක්‍යතාව සහ ඉන් අමෙරිකානු පාරිභෝගිකයින්ට ඇතිවන බලපෑම අවම කරගැනීමට ගත හැකි පියවර ඇතුළු කරුණු සම්බන්ධයෙන් එහිදී ඔවුන් සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් සමඟින්, ඇමරිකාවේ විශාලතම බොරතෙල් සමාගමක් වන ෂෙව්රන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයික් වර්ත්, බොරතෙල් විකුණුම් සමාගම් වන ට්‍රැෆිගරා, විටෝල් සහ මකියුරියා යන සමාගම්වල නියෝජිතයින්ද ඊට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොරතෙල් බැරලයක මිල තවත් ඉහළ⁣ට

බොරතෙල් බැරලයක මිල තවත් ඉහළ⁣ට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල නැවතත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව බො⁣රතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාවලිය මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට කළ ඉඟියත් සමඟ මෙම මිල ඉහළ යාම සිදුව ඇත.

සාමය වෙනුවෙන් ඉරානයට සියලුම සහාය ලබාදෙනවා – ජනපති පුටින්

සාමය වෙනුවෙන් ඉරානයට සියලුම සහාය ලබාදෙනවා – ජනපති පුටින්

ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ සාමය සහතික කිරිමට අවශ්‍ය සියලු සහාය ලබාදෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ සංචාරයකට එක්වී සිටින ඉරාන විදේශ ඇමති අබ්බාස් අරශ්චි සාන්ත පීටර්ස්බර්ග් නුවරදී මුණ ගැසුණු රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

සිය නිජබිමේ ස්වෛරීභාවය වෙනුවෙන් ඉරාන ජනතාව ධෛර්යමත්ව සහ නිර්භීතව සටන් කරන බවත් මේ දුෂ්කර කාලපරිච්ඡේදයෙන් පසු ජනතාවට සාමය උදාවනු ඇතැයි විශ්වාස කරන බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

පසුගිය සතියේදී ඉරාන උත්තරීතර නායක මොප්ටබා කමේනිගෙන් පණිවුඩයක් ලැබුණු බව සඳහන් කර ඇති රුසියානු ජනාධිපතිවරයා, ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ බව දැනුම් දෙන ලෙසත් විදේශ ඇමතිවරයාට දැනුම්දී ඇත.

ඉරානය සමඟ උපායමාර්ගික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යෑම රුසියාවේ බලාපොරොත්තුව බවද ජනාධිපති පුටින් ප්‍රකාශ කර ඇත.

උපායමාර්ගික සබඳතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම ඉරානයේ අපේක්ෂාව බව මෙහිදී අබ්බාස් අරශ්චි ප්‍රකාශ කර ඇති අතර අමෙරිකාවේ ඉල්ලීම මත නැවත සාකච්ඡා පැවැත්වීම සම්බන්ධව ඉරානයේ අවධානය යොමුවී ඇතැයි ද ප්‍රකාශ කර ඇත.

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටෙයි

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටෙයි

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර අසල සිදුවූ දුම්රිය අනතුරකින් 14දෙනෙකු මියගොස් තවත් 84දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාර්යාල දුම්රියක් සහ දුරගමන් සේවා දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මැදිරි තුළ සිරවී සිටින මගීන් මුදාගැනීම සඳහා සහන සේවා ක්‍රියාත්මක කර ඇත.

මෙම අනතුර හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් සීමා කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

තුන්වන චාල්ස් රජු අද අමෙරිකාවට

තුන්වන චාල්ස් රජු අද අමෙරිකාවට

අද (27) දින බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින නිල සංචාරයක් සඳහා අමෙරිකාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිතුදම අලුත් කිරීම සහ ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ක්‍රිස්ටියන් ටර්නර් සඳහන් කරයි.

ජපානයට ප්‍රබල භූකම්පනයක්

ජපානයට ප්‍රබල භූකම්පනයක්

උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.

ප්‍රබල භූකම්පන ඇතිවූ ප්‍රදේශවල ගල් කඩා වැටීම් හා නායයෑම් අවදානම වැඩිවී ඇති බවද ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාළ භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ නිලධාරීන් ඝාතනයට ආ වෙඩික්කරු

ට්‍රම්ප්ගේ නිලධාරීන් ඝාතනයට ආ වෙඩික්කරු

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර කඩා වැදුණු පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදු කළේය.

එම වෙඩි තැබීමත් සමඟ ජනාධිපතිවරයා ඇතුළු පිරිස ආරක්ෂිතව ඉවත් කරගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ අතර පසුව වෙඩික්කරු අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු 31 හැවිරිදි කැලිෆෝනියාහි පදිංචිකරුවෙකු වන අතර ඔහු විසින් වෙඩි ප්‍රහාර 5ත් 8ත් අතර සංඛ්‍යාවක් සිදුකර ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් බවයි.

ට්‍රම්ප් සිටි උත්සවයට කඩා වැදුණු වෙඩික්කරු ගැන තොරතුරු හෙළිවෙයි

ට්‍රම්ප් සිටි උත්සවයට කඩා වැදුණු වෙඩික්කරු ගැන තොරතුරු හෙළිවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් එක්වූ වොෂින්ටන් හිල්ටන් හී පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ඇතුල් වූ වෙඩික්කරු සම්බන්ධව තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇත.

සැකකරු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හී නිරිතදිග තදාසන්න ප්‍රදේශවල පදිංචි 31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් නම් පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ අන්තර්කාලීන පොලිස් ප්‍රධානියා අනාවරණය කර ඇත්තේ සැකකරු හෝටලයේ ආගන්තුකයෙකු බවයි.

ඔහු දකුණු කැලිෆොනියාවේ ගුරුවරයෙකු සහ වීඩියෝ ක්‍රීඩා සංවර්ධකයෙකු ලෙස සේවය කර ඇති බවත් ඔහු උපකාරක සමාගමක අර්ධකාලීන ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති බවද අනාවරණය වී ඇත.

තවද අදාළ උපකාරක සමාගමේ පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී මාසයේ ගුරුවරයා ලෙසද ඔහු නම් කර ඇති බවත් මේ වන විට විමර්ශන වලදී හෙළිවී ඇත.

මේ වනවිට එම සැකකරු රෝහලක පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන බව වොෂින්ටන් ඩීසී නගරාධිපතිවරයා සඳහන් කරයි.

ඉරාන තීරණය නිසා ට්‍රම්ප් ගමන අවලංගු කරයි

ඉරාන තීරණය නිසා ට්‍රම්ප් ගමන අවලංගු කරයි

මැදපෙරදිග යුද ගැටුම් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා පාකිස්තානයට නොයන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් හට උපදෙස් ලබාදී ඇත.

යුද ගැටුම් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් අද (25) දින පාකිස්තානය බලා යාමට සැලැසුම් කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඉරානයේ විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස (24) පාකිස්තානයේ සංචාරයක නිරත වූ අතර අමෙරිකාව සමඟ සාකච්ඡා වටයක් සඳහා තම පාර්ශ්වය සූදානම් නොමැති බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉරාන දූත පිරිස අද (25) දින පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර හමුවක් පවත්වා එරටින් පිටත්ව ගොස් ඇත.