Local news

පොලිස්පතිවරයා ඝාතනය කිරීම.. සාගරගේ ලැයිස්තුවේ නම් එළියට පනී

පොලිස්පතිවරයා ඝාතනය කිරීම.. සාගරගේ ලැයිස්තුවේ නම් එළියට පනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් විසින් වත්මන් පොලිස්පතිවරයා ඝාතනය කිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශය මගින් පොලිස්පතිවරයා මහමඟදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් ඉඟියක් ලබාදෙන බවක් පෙන්නුම් කරන බවත් එය ඉතා බරපතල තත්ත්වයක් බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ, පොලිස්පතිවරයා මහ මඟදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් ඉඟියක් සාගර කාරියවසම් ලබාදෙනවා කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඒක ඉතාම බරපතල ප්‍රකාශයක්.

වර්තමාන පොලිස්පතිවරයා මේ අපරාධ සම්බන්ධයෙන් වේගයෙන් පොලීසිය මෙහෙයවමින් කටයුතු කරමින් ඉන්නවා. පාතාලය මර්දනය කරන්න කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නවා.”

“පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරමට, කළු සල්ලි ජාවාරමට, දූෂිත දේශපාලනයට එරෙහිව පොලිස්පතිවරයා තමන්ගේ ආයතනය, නිලධාරීන් මෙහෙයවමින් සිටියදී යම් කිසි පක්ෂයක මහ ලේකම්වරයෙක් කිව්වා නම් මේ පොලිස්පතිවරයා මහ මඟදී ඝාතනය වෙනව වගේ ප්‍රකශයක්.

ඒක බරපතලයි. මාධ්‍ය සාකච්ජාවකදී බොහොම හොදින්, හිතාමතා සැලසුම් සහගතව කියපු ප්‍රකාශයක්. පොලිස්පතිවරයා මහ මඟදී ඝාතනය කරනවා වගේ ප්‍රකාශයක් කරනවා නම්, ඊට පසුබිම් වන කතන්දරය පිළිබඳව පරීක්ෂණ කරන්න පොලීසියට සිදුවේවි.

අනිවාර්යයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. මේ ප්‍රකාශ නිකන් වචන කියලා බැහැර කරන්න බැහැ. මේවා නික තැනක කිව්වා නෙවෙයි. මාධ්‍ය සාකච්ඡාවකදී හිතාමතා සැලසුම් සහගතව කියපු එකක් කියලා තමයි පේන්න.”

මේ අතර පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් පසුගියදා සඳහන් කළේ,

“අපි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා. ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නෑ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවාට.“

මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

“ඔවුන්ට බලය වෙනුවෙන් එවැනි ක්‍රියාමාර්ග ගන්න තියෙන හැකියාව තමයි නැවත නැවත ඔවුන් මේ ඔප්පු කරමින් ඉන්නේ. මේ වෙනකොට වර්තමාන පොලිස්පතිතුමා විශේෂයෙන් තමන්ගේ සේවාව කාර්යක්ෂමව, මැනවින් ඉටු කරමින් ඉන්නවා.”

“ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයේ බොහෝ පිරිස් විවිධ වංචා වලට සම්බන්ධ වෙලා, මහජන දේපල කොල්ලකෑමට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව විමර්ශන ඉතාම කාර්යක්ෂමව සිද්ධ වෙමින් පවතිනවා. මෙවැනි දූෂිතයන් මේ වෙනකොට බියට පත්වෙලා මේ වගේ මනෝ විකාර ප්‍රකාශ කරනවා.”

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“ඔබතුමාලට අසීමිතව කඩේ යන පොලිස්පතිව අසරණ කරන්න එපා. මම කියනවා තමයි. අහගෙන ඉන්න. ඔබතුමාලා දන්නවා නම් පෙර දේශපාලනීකරණය වෙච්ච පොලිස්පතිවරුන්ට, පොලීසියට ගියපු කළදසාව ඔබතුමාලගේ පොලිස්පතිව අනාථ කරන්න එපා. මම මේ කියන්නේ ඒක. ඔහොම කිය කිය ඉන්න.”

159ම විනෝද වෙන්න. ඔහොම තමයි අවසාන කාලේ වෙනකොට ඔය වගේ සිදුවීම් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඔබතුමාල මෙතන මේ කයිවාරු ගහන්න පුළුවන්. ඔබතුමාලා මෙතන දඟලන්න පුළුවන්. බොරු කියන්නත් පුළුවන්.“

“අපි ඔයාලා වගේ පස්සෙ දොරෙන් දුවන අය නෙමෙයි ඔයාලා දන්නවනේ අපි ගැන. ඒ හින්දා ඒවට ලෑස්ති වෙන්න එපා. අපි හැංගි හොරා වැඩ නෑ. අපි ඒක වෙලාව ආවාම බලාගමු.”

මේ අතර පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් විසින් පොලිස්පතිවරයා මහ මඟදී ඝාතනය කිරීම සම්බන්ධව දුන් ඉගිය පිළිබඳව, ප්‍රකාශයට අදාළව මේ වනවිට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

අවසාන කාලේ එනකොට ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ දඟලන්නේ

අවසාන කාලේ එනකොට ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ දඟලන්නේ

පසුගිය ආණ්ඩු සමයේ දේශපාලනීකරණය වෙච්ච පොලිස්පතිවරුන්ට සහ පොලීසියට සිදුවූ දේවල් වත්මන් පොලිස්පතිවරයාට සිදු නොකරන්න යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“මම කියනවා තමයි. අහගෙන ඉන්න. ඇගට අමාරුයි. කියනකොට දැනෙනවා නේද. අපි දන්නවා නේ. ඔබතුමාලගේ දේශපාලන හැසිරීම පිළිබඳව පේනවා නේ. ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ දඟලන්නේ.

ඒ හින්දා ඔබතුමාලා දන්නවා නම් පෙර දේශපාලනීකරණය වෙච්ච පොලිස්පතිවරුන්ට, පොලීසියට ගියපු කළදසාව ඔබතුමාලගේ පොලිස්පතිව අනාථ කරන්න එපා. මම මේ කියන්නේ ඒක. ඔහොම කිය කිය ඉන්න.

159ම විනෝද වෙන්න. ඔහොම තමයි අවසාන කාලේ වෙනකොට ඔය වගේ සිදුවීම් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඔබතුමාල මෙතන මේ කයිවාරු ගහන්න පුළුවන්. ඔබතුමාලා මෙතන දඟලන්න පුළුවන්. බොරු කියන්නත් පුළුවන්.

ඔබතුමාලට ඕන ඕන විදිහට චෝදනා හදන්නත් පුළුවන්, නගන්නත් පුළුවන්. කියවන්නත් පුළුවන්. හැබැයි ඉතිං මතක තියාගන්න.”

පිටකොටුව ඉංජිනේරු අංශය අලුත් වෙයි

පිටකොටුව ඉංජිනේරු අංශය අලුත් වෙයි

“Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සහ තාක්ෂණික සහයෝගයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ ඉංජිනේරු අංශය සඳහා සංවර්ධනය කරන ලද නව යටිතල පහසුකම් අද (04) දින නිල වශයෙන් විවෘත කළේය.

ඉංජිනේරු අංශයේ කාර්මික ශිල්පීන්ට වඩාත් ආරක්ෂිත, පිරිසිදු හා කාර්යක්ෂම සේවා පරිසරයක් නිර්මාණය කිරීමත්, බස් රථ නඩත්තු හා අලුත්වැඩියා කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නවීකරණය කරන ලද මෙම යටිතල පහසුකම්, රාජ්‍ය ආයතන අතර සහයෝගීතාවයේ සාර්ථක ආදර්ශයක් ලෙසින් පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම සඳහා වැදගත් දායකත්වයක් සපයනු ඇත.

  • කාර්මික ශිල්පීන් සඳහා ගුණාත්මක හා සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීම.
  • බස් රථවල දෛනික පරීක්ෂණ, නඩත්තු හා අලුත්වැඩියා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම.
  • නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නවීකරණය කිරීම.
  • බස් රථවල සේවා සූදානම හා විශ්වසනීයත්වය තවදුරටත් ඉහළ නැංවීම.
  • මගී ජනතාවට ආරක්ෂිත, ගුණාත්මක හා විශ්වාසනීය ප්‍රවාහන සේවාවක් අඛණ්ඩව ලබාදීම.
අයහපත් කාලගුණය ජීවිත 8ක් බිලිගනී

අයහපත් කාලගුණය ජීවිත 8ක් බිලිගනී

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ හදිසි ආපදා තත්ත්වය මත මරණ 08ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදාවෙන් දිස්ත්‍රික්ක 09ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 56කට බලපෑම් එල්ල වී අති අතර පවුල් 3,014ක පුද්ගලයින් 11,832ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදාවෙන් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පූර්ණ නිවාස හානි 1ක් සහ අර්ධ නිවාස හානි 290ක් වාර්තා වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

හෙට තවත් පාසල් කිහිපයක් වසා දමයි

හෙට තවත් පාසල් කිහිපයක් වසා දමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (05) දිනයේ පාසල් කිහිපයක් වසා තැබීමට තීරණය කර ඇත.

ඒ අනුව හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (05) දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇත.

කොළඹට අලුත් වෙනසක්.. මෙට්‍රෝ මාර්ග 7ක්

කොළඹට අලුත් වෙනසක්.. මෙට්‍රෝ මාර්ග 7ක්

පොදු ප්‍රවාහන සේවාව නව මට්ටමකට රැගෙන යමින් කොළඹ නගරයේ තෝරාගත් මාර්ග කිහිපයක් ආවරණය වන පරිදි මෙට්‍රෝ (Metro) බස් රථ සේවාව නිල වශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

කොළඹ නගරයට පැමිණෙන පුද්ගලික වාහන සංඛ්‍යාව අවම කරමින් මගී ජනතාවට කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

මගීන්ට පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි ‘CM’ කේතය සහ සුවිශේෂී වර්ණ සංකේත භාවිත කරමින් මෙම නව මාර්ග පද්ධතිය හඳුන්වා දී ඇත.

නව ඩිජිටල් පද්ධතියක් හරහා බස් රථ සහ රියදුරන් සම්බන්ධ කරමින් නියමිත වේලාවටම මගී සේවාවන් පවත්වාගෙන යාමට මෙහිදී සැලසුම් කර ඇත.

CM 01 (නිල් පාට මාර්ගය): මාකුඹුර සිට පන්නිපිටිය, රාජගිරිය සහ බොරැල්ල හරහා පිටකොටුව දක්වා.

CM 02 (කහ පාට මාර්ගය): මිල්ලෙනියම් සිටි සිට අතුරුගිරිය, මාලඹේ සහ බොරැල්ල හරහා පිටකොටුව දක්වා.

CM 03: (ඉන්ඩිගෝ පාට මාර්ගය) කඩවත සිට මාකුඹුර දක්වා 

CM 04 (තැඹිලි පාට මාර්ගය): දෙමටගොඩ සිට පානදුර දක්වා.

CM 05 (දම් පාට මාර්ගය): බත්තරමුල්ල සිට ඒකල දක්වා.

CM 06 (ලා කොළ පාට මාර්ගය): කොල්ලුපිටිය වටරවුම් මාර්ගය

CM 08 (තද කොළ පාට මාර්ගය): කැස්බෑව සිට පිටකොටුව දක්වා

සියලුම රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්

සියලුම රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්

රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ වැඩ කටයුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්නගේ ප්‍රධානත්වයෙන් අද (04) දින කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම කොමිෂන් සභාව ස්ථාපිත කළ අතර ඒ පිළිබඳව 2026 ජූනි (22) දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කෙරිණි.

විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පිරිස් සභාපති ධුරයත්, නාලක දිසානායක ලේකම් ධුරයත් දරන මෙම කොමිෂන් සභාවෙහි සාමාජිකයන් සංඛ්‍යාව පහළොවකි.

මෙම කොමිෂන් සභාවට, රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයෙන් ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනය විය යුතුද යන්න පිළිබඳ නිර්දේශ ලබා දීම ආදියෙහි වගකීම පවරා ඇත.

රාජ්‍ය සේවක වැටුප් පිළිබද ගැටලු විසඳීම සඳහා කොමිෂන් සභාවක් ස්ථාපිත කරනු ලබන්නේ වසර විස්සකට පසුව වන බවත්, විශ්‍රාමිකයන්ගේ ගැටලු විසඳීමට කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්නේ ඉතිහාසේ පළමු වතාවට බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කරයි.

රට සංවර්ධනය කර ඉදිරියට රැගෙන යාමේදී විශාල කාර්යභාරයක් රාජ්‍ය නිලධාරීන් වෙත පැවරෙන බැවින් රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු බවද, එහිදී රාජ්‍ය සේවයේ පවත්නා ගැටලු විසඳීම ඉතා වැදගත් වන බවද අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කරයි.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ,

“මෙම කොමිෂන් සභාවට පත් කර සිටින සියලු දෙනා රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත වූවන්. ඒ අතර විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ද සිටිනවා. ඔවුන්ටද මේ ගැටලු පිළිබඳ අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මනා අවබෝධයකින්, දැක්මකින් යුතුව ඔවුන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

වැටුප් විෂමතා පිළිබඳ ගැටලු විසඳන තෙක් සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීමට ජනාධිපතිවරයා බලයට පත් වූ පසු ඉදිරිපත් කළ පළමු අයවැයෙන්ම යෝජනා කළා. ඒ වැටුප් වැඩි වීම 2025 ජනවාරි පළමු වන දා සිට වසර තුනක කාලයක් තුළ කොටස් තුනක් ලෙස ක්‍රියාත්මක වෙනවා.

එහි අවසාන වැඩිවීම 2027 ජනවාරි පළමු වන දා සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපට එකතු වෙනවා. එම වැටුප් වැඩි වීම 2025 ජනවාරි පළමුවන දා සිට විශ්‍රාම ගිය සෑම රාජ්‍ය සේවකයෙකුටමත් හිමිවෙනවා. 2025 ජනවාරි පළමුවන දා විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුප හිමිවන්නේ 2027 ජනවාරි පළමුවන දා වැඩි වන වැටුපට අනුරූපවයි.

එලෙස වැටුප් වැඩිකරනු ලැබුවේ තමන්ගේ වගකීම කැපවීමන් සහ උනන්දුවෙන් ඉටු කරන බහුතරයක් රාජ්‍ය සේවකයින්ට ගරු කිරිමක් හැටියට වගේම ඔවුන්ගේ ගැටලු පිළිබඳව මානුෂීයව දැකපු නිසයි. රාජ්‍ය සේවයේ ඉතා සුළු පිරිසක් වගකීම් විරහිතව කටයුතු කළත් රාජ්‍ය සේවකයින් බහුතරයක් තමන්ගේ වගකීම මනා අවබෝධයෙන් සහ කැපවීමෙන් ඉටු කරනවා. දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදි ඒ බව ඉතා හොඳින් තහවුරු වුණා.

ඒ වගේම වියදම ගැන නොසලකා තමන්ගේ අවශ්‍යතාව කුමක්ද යන්න ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා සියලු රාජ්‍ය ආයතන දැනුවත් කළා. මේ සියලු දේවල්වලින් ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජය බලාපොරොත්තු වන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කරමින්, යහපත් රාජ්‍ය සේවයක් පුරවැසියාට ලබා දීමයි.

රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් 2020 වසරේ සිට අත්හිටුවා තිබුණේ. එහෙත් අපි බලයට ආවට පස්සේ 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුව මේ වන විටත් නව බඳවාගැනීම් සිදු වෙනවා.”

පිල්ලෙයාන්ට දුන් නියෝගය

පිල්ලෙයාන්ට දුන් නියෝගය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (04) මඩකලපුව මහේස්ත්‍රාත් ඒ. දර්ශිනි හමුවට ඉදිරිපත් කළේය.

අද (04) මෙම නඩු විභාගයට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළේය.

2008 වසරේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මිනීමැරුම් පහක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනු කර ඇති අතර එහි තුන්වන සැකකරු ලෙස පිල්ලෙයාන් නම් කර ඇත.

කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ මිනීමැරුම් පහක් සහ ඉඩම් ආරවුලකට අදාළ චෝදනා තුනක් සම්බන්ධයෙන් පිල්ලෙයාන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අනතුරුව සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අගෝස්තු (12) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය.

අභියෝග කළ සලේ – අතරමැදි පෙත්සම් සළකා බැලීම ඇරඹේ

අභියෝග කළ සලේ – අතරමැදි පෙත්සම් සළකා බැලීම ඇරඹේ

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අවසර ලබාදෙන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ අද (04) දින සළකා බැලීම ආරම්භ විය.

ඒ අනුව අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යන සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එහිදී කරුණු ඉදිරිපත් කර ඇත.

අනතුරුව අතරමැදි පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සළකා බැලීම ලබන (06) වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (04) දින නියෝග කර ඇත.

මේ අතර තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් පසුගියදා එම පෙත්සම ඉදිරිපත් කළේය.

තවත් මෙට්‍රෝ බස් රථ 50ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

තවත් මෙට්‍රෝ බස් රථ 50ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා තවත් සුවපහසු පත්ල පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මගී ඉල්ලුම ඉහළ යාම, ප්‍රධාන කලාපීය ප්‍රවාහන හා සංචාරක මධ්‍යස්ථාන ලෙස මහනුවර, ගාල්ල සහ යාපනය නගරවල ඇති උපායමාර්ගික වැදගත්කම මෙන්ම කොළඹ මහනගර කලාපයෙන් ඔබ්බට නවීන මහජන ප්‍රවාහන සේවා ව්‍යාප්ත කිරීමේ අරමුණ සැලකිල්ලට ගනිමින් මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ පළමු අදියර එම නගරවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මෙට්‍රෝ බස් ඇණියේ ධාවනය සඳහා අවශ්‍ය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමේ අරමුණින්, 2026 මාර්තු (06) දින පිරිනැමූ බස් රථ 100ක කොන්ත්‍රාත්තුව යටතේම රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව 50%ක නැවත ඇණවුමක් ලෙස තවත් පත්ල පහත් බස් රථ 50ක් මිලදී ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.