Local news

එල්-නිනෝ සඳහා මුහුණදීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව රැස් වෙයි

එල්-නිනෝ සඳහා මුහුණදීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව රැස් වෙයි

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳිගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පළමු වරට ජනාධිපති කාර්යාලයේදී (30) පස්වරුවේ රැස් විය.

ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය කෙටිකාලීන, මධ්‍යකාලීන, සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීම සහ සියලුම රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයත්, ඒකාබද්ධ මෙහෙයුම් සහතික කිරීම සදහා සහ මහජනතාව දැනුවත් කරමින් ආපදා අවදානම අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමත් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පත් කරන ලදී.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝජනය කරනු ලබයි.

මෙම සාකච්ඡාවට සමගාමීව නිලධාරී කමිටුව සඳහා පත් කළ සාමාජිකයන්ට පත්වීම් ලිපි ලබාදීමද සිදු කෙරිණි.

එල්-නිනෝ සම්බන්ධව දැනට පවතින තත්ත්වය අනුව ප්‍රබල සම්භාවිතාව 63%ක් සහ දුර්වල සම්භාවිතාව 33%ක් බව මෙහිදී අනාවරණය වූ අතර, එම තත්ත්වය යටතේ පානීය ජලය, වාරිමාර්ග සහ බලශක්තිය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙන බවටද අවධාරණය කෙරිණි.‍

ගෝලීය එල්-නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඇති විය හැකි නියං හෝ වැසි තත්ත්වයක් අඩු වැඩි වශයෙන් ඇති වනු ඇති බවට පුරෝකථනය කර තිබෙන බැවින් එම සියලු තත්ත්වයන්ට මුහුණදීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ නිශ්චිත වැඩපිළිවෙළක් සති දෙකක් ඇතුළත සකස් කරන ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දෙනු ලැබීය.

එල්-නිනෝ තත්ත්වය සම්බන්ධව දැනට පවතින වෙන් වෙන් අර්ථ දැක්වීම් වෙනුවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පමණක් නිල ප්‍රකාශ නිකුත් කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක්

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කර ඇත.

“දිට්වා සුළි කුණාටුවෙන්” පසු ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මෙම හදිසි ආධාර පැකේජය අනුමත කර ඇත.

තවදුරටත් මේක කරන්න අමාරුයි.. සලේ උපවාසය අත්හරී

තවදුරටත් මේක කරන්න අමාරුයි.. සලේ උපවාසය අත්හරී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ උපවාසය නතර කිරීමට තීරණය කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව රැඳවුම් භාරයේ සිටින සුරේෂ්⁣ සලේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සුරේෂ් සලේ නීතිඥ උපදෙස් මත ඔහුගේ උපවාසය නතර කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ගෝඨාගේ ලේකම් සුගීෂ්වරට දුන් නියෝගය

ගෝඨාගේ ලේකම් සුගීෂ්වරට දුන් නියෝගය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර අද (01) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුගීෂ්වර බණ්ඩාර නැවතත් ජුලි (08) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජුලි මස (08) වනදා ප්‍රකාශයට පත්කරන බවද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදින තෙක් සුගීෂ්වර බණ්ඩාර තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

තමන්ව වසර 16ක සිරදඬුවමින් නිදහස් කරන්න ඉල්ලා සරණගෙන් ඇපෑලක්

තමන්ව වසර 16ක සිරදඬුවමින් නිදහස් කරන්න ඉල්ලා සරණගෙන් ඇපෑලක්

තමන්ට නියම කරනු ලැබූ බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන විසින් අභියාචනාධිකරණයට ඇපැල් පෙත්සම් හතරක් ඉදිරිපත් කර ඇත.

නීතිඥ රන්ජන් ද සිල්වා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇත.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට විරුද්ධව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු හතරක් ගොනුකර තිබුණ අතර එම නඩු විභාග කිරීමෙන් අනතුරුව අදාළ චෝදනා වලට වරදකරු කෙරුණේය.

ඒ අනුව සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 16ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද නියම කරනු ලැබීය. 

ආබාධ සහිත පුද්ගලයන්ට විශේෂ ප්‍රමුඛතා කාඩ්පතක්

ආබාධ සහිත පුද්ගලයන්ට විශේෂ ප්‍රමුඛතා කාඩ්පතක්

ආබාධ සහිත පුද්ගලයන්ට රාජ්‍ය ආයතන මගින් සේවා සැපයීමේදී ප්‍රමුඛතාව ලබාදීම සඳහා “විශේෂ ප්‍රමුඛතා කාඩ්පතක්” හඳුන්වා දීමට තීරණය කර ඇත.

ඒ අනුව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මූලික කරගනිමින් මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

තවද එම පුද්ගලයන්ගේ ආබාධිතභාවය පිළිබඳ වර්ගීකරණය චක්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට ද තීරණය කර ඇත.

ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් භාවිත කළ යුතු පාරිභාෂික වචන මාලාව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ප්‍රකාශනයක් ලෙස නිකුත් කිරීමට ද තීරණය කර ඇත.

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සභාපතිත්වයෙන් (30) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් තීරණය කර ඇත.

අදායම් බදු ඉලක්කයෙන් 52%ක් සම්පූර්ණයි

අදායම් බදු ඉලක්කයෙන් 52%ක් සම්පූර්ණයි

වසරේ අදායම් බදු ඉලක්කයෙන් 52%ක් මේ වනවිට සම්පූර්ණ කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වාර්ෂික අදායම් ඉලක්කය රුපියල් බිලියන 2,401ක් වන අතර ඉන් රුපියල් බිලියන 1,255ක් මේ වනවිට එක් රැස් වී ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය වසරට සාපේක්ෂව එහි ප්‍රගතිය 117%ක් බවද දේශීය අදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 81 හැවිරිදි ආච්චි

අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 81 හැවිරිදි ආච්චි

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එම හදිසි වැටලීමේදී නිවසක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් හමුවී ඇති අතර එම මත්ද්‍රව්‍ය සමග නිවසේ හිමිකාරිය වු වයස අවුරුදු 81ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී එම සැකකාරියගේ පුත්‍රයා නිවසේ සිට පලාගොස් ඇති අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසිය විමර්ශන සිදුකරයි. 

අත්අඩංගුවට ගන්න ගිය සැකකරුට පොලීසියෙන් වෙඩි

අත්අඩංගුවට ගන්න ගිය සැකකරුට පොලීසියෙන් වෙඩි

ඇල්පිටිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් සඳහා කහදුව ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී සැකකරුවන් විසින් පොලීසියට පහරදීමට උත්සහ කළ අවස්ථාවේ පොලීසිය අහසට වෙඩි තබා ඇත.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර නිලධාරීන් දෙදෙනෙකු ඔවුන් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අවස්ථාවේදී එහි සිටි එක් සැකකරුවෙකු විසින් තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති බව වාර්තා වේ. 

අනතුරුව පොලීසිය ඔහුගේ අතකට වෙඩි තබා ඇති අතර වෙඩි වැදුණු සැකකරුට අත්විලංගු දමා අත්අඩංගුවට ගැනීමෙන් පසුව තවත් පිරිසක් පැමිණ සැකකරු රැගෙන පලාගොස් ඇත.

අදාළ පුද්ගලයා ඝාතන සිද්ධියකට ආධාර අනුබල දීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර තියුණු ආයුධයෙන් පහර කෑම කෑමට ලක්වූ පොලිස් නිලධාරියා ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

දෛනිකව 400කට ආසන්න පිරිසක් රක්ෂිත බන්ධනාගාරයට

දෛනිකව 400කට ආසන්න පිරිසක් රක්ෂිත බන්ධනාගාරයට

දෛනිකව 400කට ආසන්න සැකකරුවන් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බන්ධනාගාරවල පහසුකම් ඇත්තේ 30,000කට ආසන්න පිරිසක් සඳහා වුවද 40,000කට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් මේ වනවිට බන්ධනාගාරගතව සිටින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.