Local news

මත්ද්‍රව්‍ය වලින් තොර සුවපත් දේශයක්

මත්ද්‍රව්‍ය වලින් තොර සුවපත් දේශයක්

රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාරව සෑම පුරවැසියෙකුටම ගෞරවණීය ජීවිතයක් – සුරක්ෂිත රටක්’ තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතියක් වන ‘රටම එකට’ ජාතික වැඩසටහනට පූර්ණ ශක්තියක් වෙමින්, මෙරට වෙළාගෙන ඇති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය සමාජයෙන් මුලිනුපුටා දැමීම උදෙසා ශ්‍රී ලංකා නාවික හමුදාව අතිමහත් කැපවීමකින් යුතුව සිය සක්‍රීය දායකත්වය ලබා දෙමින් සිටියි.

විශේෂයෙන්ම, ජාතියේ මතු පරපුර මෙම මාරාන්තික උවදුරින් ආරක්ෂා කරගැනීමේ උදාර අරමුණ පෙරදැරිව, නාවික හමුදාව සියලු සම්පත් හා ශ්‍රම දායකත්වය මැනවින් කළමනා කරණය කරමින් ඉතා කාර්යක්ෂම සහ පුළුල් මෙහෙයුම් ජාලයක් දිවයින වටා ඇති සාගර කලාපය මෙන්ම ගොඩබිම් ප්‍රදේශ ද ආවරණය වන පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ජාතික මෙහෙවරේදී නාවික හමුදාව පෙන්වන අසමසම දායකත්වය නිරීක්ෂණය කිරීමත්, එම වැඩසටහන නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිසි මගපෙන්වීම් සහ උපදෙස් ලබා දීමත් අරමුණු කරගනිමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (21) දින අකුරේගොඩ පිහිටි නාවික හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය නිරීක්ෂණය කළේය.

මෙම සංචාරයේ තවත් ප්‍රධාන අරමුණක් වුයේ ජාතික මෙහෙවර උදෙසා අසමසම කැපවීමකින් ක්‍රියා කරන නාවික හමුදා සාමාජිකයින් දිරිගැන්වීම සහ ඔවුන් වෙත රජයේ ප්‍රණාමය පුද කිරීමයි.

නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාව නාවික හමුදාධිපතිතුමන් විසින් නාවික සම්ප්‍රදානුකුළව පිළිගැනීමෙන් අනතුරුව විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත කැඳවාගෙන යන ලදී.

එහිදී රටම එකට වැඩසටහන යටතේ නාවික හමුදාව විසින් ඉටු කරනු ලබන මෙහෙවර, එහි වත්මන් ප්‍රගතිය සහ මත්ද්‍රව්‍ය ජාලයන් මැඬලීම සඳහා භාවිත කරන නූතන උපායමාර්ගික ක්‍රම වේදයන් පිළිබඳව නාවික හමුදාධිපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාව සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී.

නිරීක්ෂණ චාරිකාව අවසානයේ අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, දිවයින වටා මුහුදු කලාපය ආවරණය කරමින් නාවික හමුදාව අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී මෙහෙයුම් සහ ඔවුන් ඉටු කරන එම ප්‍රශංසනීය කාර්යභාරය සිය විශේෂ ඇගයීමට ලක් කළේය.

වත්මන් අවශ්‍යතාවයන්ට අනුකූලව මෙම මෙහෙයුම් කටයුතු තාක්ෂණික හා උපායමාර්ගික වශයෙන් තවදුරටත් පුළුල් කිරීමටත්, නව මුහුණුවරකින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම් එතුමා විසින් ලබා දෙන ලදී.

විශේෂයෙන්ම, මත්ද්‍රව්‍ය වලින් තොර සුවපත් දේශයක් උදෙසා නාවික හමුදාව දක්වන මෙම අසමසම කැපවීම සමස්ත ජාතියේම ගෞරවාදරයට ලක්විය යුත්තක් බව අවධාරණය කළ අමාත්‍යවරයා, ඉදිරියටත් මෙම ජාතික වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය උපරිම සහයෝගය රජය විසින් ලබාදෙන බව සහතික විය.

ගාල්ලට ආසන්න මුහුදේ යාත්‍රා කළ ඉරාන නෞකාවක් අමෙරිකාව භාරයට

ගාල්ලට ආසන්න මුහුදේ යාත්‍රා කළ ඉරාන නෞකාවක් අමෙරිකාව භාරයට

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 700ක් පමණ දුරින් ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කළ ඉරානය සමඟ සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන ඉන්ධන නෞකාවක් අමෙරිකානු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Marine Traffic දත්ත වලට අනුව, මෙම නෞකාව ටොන් 300,000කට ආසන්න ධාරිතාවක් ඇති ටිෆනි නම් බොරතෙල් ප්‍රවාහන නෞකාවකි.

මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාවට එක්සත් ජනපද විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවා ඇති අතර ඉරාන බොරතෙල් ආසියානු කලාපය හරහා ජාවාරම් කිරීම සම්බන්ධව අසාදු ලේඛනගත කර තිබුණු බව සඳහන් වේ.

තම නිලධාරීන් විසින් M/T Tifani නෞකාව මත නාවික නීතියට අනුව පරීක්ෂා කිරීමේ අයිතිය භාවිතා කරමින් මෙම මෙහෙයුම දියත් කළ බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව X පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කරයි.

නෞකා ගමනාගමන දත්ත වලට අනුව ටිෆනි නෞකාව අප්‍රේල් (10) වන දින ගල්ෆ් කලාපයෙන් පිටත්ව ඇති බවත් පසුව අප්‍රේල් (18) වන දින ශ්‍රී ලංකාවේ ගාල්ල වරාය අසල නතර කර තිබූ බවයි.

පාස්කු විමර්ශන කෙටි කාලයකින් අවසන්

පාස්කු විමර්ශන කෙටි කාලයකින් අවසන්

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන තවත් කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

එම විමර්ශන මේ වනවිට සාර්ථකව ඉදිරියට ගොස් යම් ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

ඉදිරියටත් විමර්ශන නිවැරදිව සිදු කිරීම සඳහා පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

විමර්ශන සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර කෙටි කාලයක් තුළ ඒවා සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අද (21) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි.

ඉරානයට යළි බෝම්බ හෙලනවා

ඉරානයට යළි බෝම්බ හෙලනවා

සති දෙකක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට තමාට නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

කඩිනමින් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් ඉරානයට යළි බෝම්බ හෙලීම ආරම්භ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

තමා ඉදිරියේදී බෝම්බ ප්‍රහාර අපේක්ෂා කරන බවත් අමෙරිකානු හමුදාව ඒ සඳහා දැඩි සූදානමකින් සහ උනන්දුවකින් පසුවන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඩයනා ගමගේට දුන් නියෝගය

ඩයනා ගමගේට දුන් නියෝගය

හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර ඇත.

මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි මස (12) වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

2016 වසරේ ජුලි මස (14) වනදා සිට 2020 වසරේ නොවැම්බර් (01) අතර කාල සීමාව තුළ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍යය තොරතුරු ලබාදීම තුළින් ආගමන හා විගමන පාලක පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කර, නීතිපතිවරයාගේ උපදෙස් මත චෝදනා හතක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩයනා ගමගේට එරෙහිව චෝදනා හතකට අදාළව මෙම නඩු ගොනු කර ඇත.

බෝම්බ ප්‍රහාරය ගැන පොලීසියෙන් දැනුම්දීමක්

බෝම්බ ප්‍රහාරය ගැන පොලීසියෙන් දැනුම්දීමක්

පුද්ගලයෙකු විසින් කොළඹ ඇතුළු ජනාකීර්න ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වූ බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පළවූ වාර්තාව ගැන පොලීසිය දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව කොළඹ ඇතුළු ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.

එවැනි සිදුවීමක් වාර්තාවී නොමැති බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.

මේ අතර කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවද සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.

චොකා මල්ලි අත්අඩංගුවට

චොකා මල්ලි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී ප්‍රේමලාල් ජයසේකර සිය ගිනිඅවිය පෙන්වා මරණ තර්ජනය කර බියවැද්දීම යන චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකරගේ අදාළ ගිනිඅවියේ බලපත්‍රයට කල් ඉකුත් වී තිබුණු බව වාර්තා වේ.

ජපානයට යළිත් බරපතල අනතුරු ඇඟවීමක්

ජපානයට යළිත් බරපතල අනතුරු ඇඟවීමක්

ජපානය යළිත් දරුණු භූකම්පනයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් පසුව යළිත් දෙවන වරටත් මෙලෙස භූමිකම්පනය සඳහා අනතුරු ඇගවීමක් නිකුත් කර ඇත.

ඉදිරි සතියේදී දරුණු භූකම්පාවක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් එම භූකම්පනය රික්ටර් පරිමාණයේ 8.0ක හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් වාර්තා විය හැකි බව එරට බලධාරීන් සඳහන් කරයි.

ඇපල් සමාගමේ ලොකු පුටු සෙලවෙයි

ඇපල් සමාගමේ ලොකු පුටු සෙලවෙයි

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් එම තනතුරෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

ඒ අනුව සැප්තැම්බර් (01) වැනිදා සිට ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජෝන් ටර්නස් වැඩ භාර ගනු ඇති බව එම සමාගම සඳහන් කරයි.

මේ අතර CEO ධූරයෙන් ඉවත්වන ටිම් කුක් ඇපල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාපති ධුරයට පත්වන බවද එම සමාගම සඳහන් කරයි.

අමෙරිකාව සමග සාකච්ඡා නෑ.. ඉරානය අනතුරු අඟවයි

අමෙරිකාව සමග සාකච්ඡා නෑ.. ඉරානය අනතුරු අඟවයි

පීඩන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නොමැති බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් සඳහන් කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජන කිරීම සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් හරහා සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවයට හානි කරන බවද කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් සඳහන් කරයි.

පවතින නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වුවහොත් යුද පිටියේදී නව උපාය මාර්ග එළිදැක්වීමට ඉරානය සූදානම් වී සිටින බවද කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් සඳහන් කරයි.

සිය “x” ගිණුමෙහි සටහනක් තබමින් කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් මේ බව සදහන් කරයි.

කෙසේ වෙතත් එම චෝදනාවත් සමඟ ඉරානය සහ අමෙරිකාව අතර නොසන්සුන්තාව දැඩි ලෙස උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.