Local news

ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට සිට රැස්වීම් වර්ජනයක

ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට සිට රැස්වීම් වර්ජනයක

හෙට (08) දිනයේ සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සඳහන් කරයි.

සදුදා දිනවල විවිධ අමාත්‍යංශ, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය විසින් භෞතිකව හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් පැවැත්වීම හේතුවෙන් ඉන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කටයුතුවලට සහ මහජනතාවට සිදුවන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් කරයි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 අනුව මහජන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති දිනයේ තමන් හමුවීමට පැමිණෙන මහජනතාවගේ ගැටලු විසඳීමට කාර්යාලයේ රැදී සිටීම අනිවාර්ය කර ඇති අතර කිසිදු නිල රැස්වීමක් නොපැවැත්විය යුතු බවට උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.

ඒ අනුව අදාළ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් හෙට දිනයේ සිට මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති ආර්.සෙන්තිල් සඳහන් කරයි.

ජීවිතේට ජනපති වෙන්න බැරි රනිල්ව ජනපති කළේ පොහොට්ටුව

ජීවිතේට ජනපති වෙන්න බැරි රනිල්ව ජනපති කළේ පොහොට්ටුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොසිටියා නම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජීවිතේට මේ රටේ නායකයා වෙන්නේ නැති බව පොදුජන පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සඳහන් කරයි.

එනිසා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට කළ උපකාර වෙනුවෙන් දැන් කෙලෙහිගුණ සැලකිය යුතු බවද පොදුජන පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සඳහන් කරයි.

සංජීව එදිරිමාන්න තවදුරටත් සඳහන් කළේ,

“අපි එතුමාට උදව් කළා. මේ රටේ අවුරුදු දෙක හමාරක පාලන බලය අරගෙන යන්න. මම හිතනවා එතුමාට යුතුකමක් තියනවා කියලා මේ වෙලාවේ ඒ දුන්න අවස්ථාවට කෘතගුණ සැලකීමක් ලෙස නාමල් රාජපක්ෂ වටා ගොනුවෙන මේ දේශපාලන බලවේගයට උදව් කරන්න. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අප නොසිටියා නම් එතුමාගේ ජීවිත කාලේ මේ රටේ නායකයා වෙන්නේ නැහැ එතුමා.”

කැලණියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංජීව එදිරිමාන්න මේ බව සඳහන් කරයි.

සලේ ගැන ගම්මන්පිල කියන කතාවට පොලීසියෙන් පිළිතුරු

සලේ ගැන ගම්මන්පිල කියන කතාවට පොලීසියෙන් පිළිතුරු

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර ඇත.

සුරේෂ් සලේ සම්බන්ධව සාමාන්‍ය සැකකරුවෙකුට ක්‍රියා කරන ආකාරයට කටයුතු කර ඇති බවත් කිසිදු විශේෂ සැලකිල්ලක් හෝ නොසලකා හැරීමක් සිදුකර නොමැති බවද පොලීසිය සඳහන් කරයි.

සලේට මරණ බිය දැනෙයි.. අවසන් හුස්ම තෙක් උපවාසයක් අරඹයි

සලේට මරණ බිය දැනෙයි.. අවසන් හුස්ම තෙක් උපවාසයක් අරඹයි

හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

සුරේෂ් සලේ මානසික කඩා වැටීමකට ලක්ව සිටින බවත් ඔහු මරණය ඉලක්ක කරගනිමින් ජලය සහ ඖෂධ ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

උදය ගම්මන්පිල තවදුරටත් සඳහන් කළේ,

“සුරේෂ් සලේ මහතා බලන්න ඔහුගේ සහෝදරයාත් පුතත් රහස් පොලීසියට ගියා. ඒ අවස්ථාවේ ඔහු දැඩි කඩා වැටීමකට ලක්වෙලායි හිටියේ. ඊයේ රාත්‍රියේ ඔහුට රාත්‍රී කෑමට ලබාදීලා තියෙන්නේ බත් හැන්දක් රාබු හොදි සමඟ පමණයි.

මේ බත් හැන්දක් දීලා තියෙන්නේ පත්තර කොළයක් බිම එලලා ඒකට තමයි බත් හැන්දයි රාබු හෝදියි බෙදලා තියෙන්නේ. පත්තර කොළේ, කෑමවලින් පෙඟිලා, ඔහු කෑම එක තමන්ගේ අතට ගන්න යද්දී, පත්තර කොළේ ඉරිලා කෑමටික බිමට වැටිලා තියෙනවා.

එතකොට ඔහුට කන්ඩ වෙන්නේ බිම තියෙන කෑම. මෙයින් මානසිකව කඩා වැටුණු ඔහු රාත්‍රී ආහාරය ගැනීම ප්‍රතික්ෂේප කරලා විතරක් නෙවෙයි.

කරනු ලබන මේ අමානුෂික වද හිංසා සහ අමානුෂික පහත් සැලකීමට විරෝධය පළ කරන්න ඊයේ රාත්‍රියේ සිට මරණය දක්වා මාරාන්තික උපවාසයක් කිරීමට එතුමා තීරණය කරලා තිබෙනවා.

එතුමා තමන්ගේ පුතා සමඟ හඬා වැටෙමින් ප්‍රකාශ කරලා තියෙනවා මට පොලීසිය සලකන්නේ බල්ලෙකුටත් වඩා අන්ත විදිහට මට මෙහෙම කරන්න, මං කරපු වරද මොකක්ද කියලා. එතුමා මේ මාරාන්තික උපවාසයේදී ආහාර ගැනීම පමණක් නොව මරණයම ඉලක්ක කරමින් ජලය සහ ඖෂධ ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා.

ඇත්තෙන්ම ඔහු තමන්ගේ පුතා සමඟ ප්‍රකාශ කරලා තියෙනවා මෙවැනි අමානුෂික වදහිංසාවලට ලක් වෙමින් බොරු චෝදනා වලට ලක් වෙමින් ජීවත් වෙනවාට වඩා මට මැරෙන එක සැපයි කියලා.”

අද (06) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මේ බව සඳහන් කරයි.

මීගොඩ අනතුරේ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයාට දුන් නියෝගය

මීගොඩ අනතුරේ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයාට දුන් නියෝගය

පසුගියදා මීගොඩ මංසන්ධියේදී දන්සැලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා අද (06) දින හෝමාගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළේය.

හෝමාගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා ලබන (16) වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එම රිය අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් හත් දෙනෙකු තුවාල ලැබීය.

චීන ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි

චීන ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ අලුතින් පත් වූ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao (04) වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්වරයා සහ චීන ආරක්ෂක උපදේශකවරයා අතර ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙරට නිල සංචිත 1.6%කින් ඉහළට

මෙරට නිල සංචිත 1.6%කින් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6,873ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එය පසුගිය අප්‍රේල් මාසයේ පැවැති ඩොලර් මිලියන 6,766 සිට 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6,873ක් දක්වා 1.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙම සංචිත ප්‍රමාණය ඉහළ යාම සඳහා චීන මහජන බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි සංචිත ඇතුළත් වන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

රුමේෂ් තරංගගෙන් සුපිරි වාර්තාවක්

රුමේෂ් තරංගගෙන් සුපිරි වාර්තාවක්

2026 රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කිරීමට රුමේෂ් තරංග සමත් විය.

රුමේෂ් තරංග මෙම තරගය ජයගත්තේ තරගාවලි වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක් ඇතුළුව තවත් වාර්තා රැසක් පිහිටුවමින් වන අතර ඔහු මෙම තරගයේදී මීටර 92යි දශම 6යි 2ක දක්ශතාවක් ප්‍රදර්ශනය කළේය.

එම දක්ෂතාවත් සමග ඉතිහාසයේ මෙතෙක් හොඳම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 8වැනි ස්ථානයට පත් වීමට සහ ඉතිහාසයේ දෙවැනි හොඳම ආසියානු හෙල්ල විසි කරන්නා බවටද පත්වීමට ඔහුට හැකි විය.

මෙවර තරග සමයේදී හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වට ක්‍රීඩකයෙකු ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව මෙය වන අතර පසුගිය වසර 4ක කාලය තුළ මෙම ඉසව්වට ක්‍රීඩකයෙකු ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය ද මෙය වේ.

මම සමහරවිට 2029 ජනාධිපති වෙන්න පුළුවන්

මම සමහරවිට 2029 ජනාධිපති වෙන්න පුළුවන්

රටේ නායකයා වීමට සුදුසුකම් ඇති පුද්ගලයා කවුදැයි තීරණය කළ යුත්තේ මහජනතාව විසින් බවත් තමන් ගැන තමන්ටම සහතික දීමට අවශ්‍ය නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි.

එළඹෙන 2029 ජනාධිපතිවරණය සඳහා තමන්ද ඉදිරිපත් වීමේ හැකියාවක් පවතින බවත් එයින් ජනාධිපති ධූරය හිමිවීමට ඉඩ ඇති බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ,

“නායකයා වෙන්න සුදුසුකම් තීරණය කරන්න ඔනේ මහජනයා. මට මං ගැන කියන්න ඕනේ නෑ. මූල්‍ය අරමුදල මත තීරණය වෙන ගමනක යන්නේ නැත. බය නැතුව චීනය, ඉන්දියාව, ‍රුසියාව ඉන්න ඒ කඳවුරේ හිටගෙන මේ රටේ ණය බර ඔවුන්ගේ සහයෝගයෙන් කළමනාකරවරණය කරගනිමින් වෙනස් මඟකට, නව උපායමාර්ගික මඟකට මේ රට හරවනවා. ඒක කරන්න විතරයි මේ රටට නායකයෙක් ඕනේ. රනිල් ආවා අනුර ආවා හෙට සජිත් ආවා, නාමල් ආවා මොකා ආවත් යන්නේ මේ පාරේ නම් සොරි ඩොට්කොම්.”

මිනිස්සු 300ක් මරපු ගේම් එක හෙළිවෙද්දි සලේ කෙඳිරිගානවා.. රාජපක්ෂලා අඬනවා

මිනිස්සු 300ක් මරපු ගේම් එක හෙළිවෙද්දි සලේ කෙඳිරිගානවා.. රාජපක්ෂලා අඬනවා

මහින්ද රාජපක්ෂලාගේ කඳවුර බලයට ගේන්න සහ ගෝඨාභය බලයට ගේන්න නිශ්චිතවම සුරේෂ්⁣ සලේ දේශපාලන ගේම් එකක ඉදලා තියෙන බවත් ඒ ගේම් එක ඉටු කරගන්න මිනිස්සු 300ක් මරලා තියෙන බව වසන්ත මුදලිගේ සඳහන් කරයි.

දැන් සුරේෂ්⁣ සලේගෙන් ටික ටික කරුණු එළියට එද්දි රාජපක්ෂ කඳවුර අඩන්න පටන් අරන් තියෙන බවත් සලේගෙන් තොරතුරු එද්දි නාමල් රාජපක්ෂලා කෑ ගහන්න පටන් අරන් තියෙන බවද වසන්ත මුදලිගේ සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් වසන්ත මුදලිගේ සඳහන් කළේ,

“අත්අඩංගුවට අරගෙන දවස් කිහිපයක් ගියාට පස්සේ සුරේෂ්⁣ සලේ කියනවා, දැන් එයාට බෙල්ලෙ වැල දාගන්න හිතෙනවා. මැරෙන්න හිතෙනවා. හරිම අමාරුයි. අපිට හිතෙනවා මේක හරිම විහිලු සහගත තත්ත්වයක්.

පසුගිය 2022 අවුරුද්දේ තිබුණු අරගලයෙන් පස්සේ අපිව අත්අඩංගුවට ගත්තා. අපිව අත්අඩංගුවට අරගෙන චෝදනා ගොඩක් දාලා අපිව හිරකරා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන්.

ඒ පනතෙන් රනිල් වික්‍රමසිංහ හිරකරලා, දේශබන්දුලා ඒකට සහාය දීලා සුරේෂ්⁣ සලේලත් ඒකේ කොනක හිටියා. ඒගොල්ලෝ අපිව දැම්මා අදුරු කාමරවල. අදුරු කාමරවලට දාලා හුස්ම ටිකක් ගන්න බැරිවෙන්න, හුලං වදින්න බැරිවෙන්න දාඩිය දාලා කුණුවෙන්න ඇරලා තිබුණේ.

කන්න බොන්න හරියට දුන්නේ නෑ. නිදාගන්න පැදුරක්, රෙදිකඩමල්ලක් දුන්නේ නෑ. මේ ඔක්කොම කරලා ඉවර වෙලා, පුළුවන් තරම් අපිව ඝාතනය කරන්න සැලසුම් කරපු, හැබැයි මිනිස්සුන්ගේ විරෝධය නිසා කරගන්න බැරිවුණු සුරේෂ්⁣ සලේලා දැන් කෙඳිරිගානවා ඇප ගන්න.

පාස්කු ප්‍රහාර 300ක් මරපු එක අමතක කරවලා, 500ක් තුවාල කරපු එක අමතක කරවලා ඇප ගන්න දැන් කෙඳිරිගානවා. පස්සපැත්ත රිදෙනවා කියනවා. බෙල්ලෙ වැල දාගන්න හිතෙනවා කියනවා.”

“මහින්ද රාජපක්ෂලාගේ කඳවුර බලයට ගේන්න, ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න නිශ්චිතවම සුරේෂ්⁣ සලේ දේශපාලන ගේම් එකක ඉදලා තියෙනවා. ඒ ගේම් එක ඉටු කරගන්න මිනිස්සු 300ක් මරලා තියෙනවා. බෝම්බ ගහන්න සැලසුම් කරලා තියෙනවා. මිනිස්සූ 500ක් තුවාල කරලා තියෙනවා.

එනිසා මේ විමර්ශන ඉදිරියට යන්න ඕන. සුරේෂ්⁣ සලේගෙන් ටික ටික ටික කරුණු එළියට ඇවිල්ලා ඒවා ඔප්පු වෙන්න පටන් ගනිද්දි අර සිංදුවේ මලිත්ට ගහද්දි චන්චලා අඬනවා වගේ දැන් රාජපක්ෂ කඳවුරත් තෙත් වෙලා තියෙනවා.

දැන් සුරේෂ්⁣ සලේගෙන් කරුණු එළියට එනවා. ඒවා ටික ටික එළියට එද්දි රාජපක්ෂ කඳවුර අඩන්න පටන් අරන් තියෙනවා. මොකක්ද සම්බන්දේ.? සලේට ගහද්දි ඇයි රාජපක්ෂලා අඩන්නේ. සලේගෙන් තොරතුරු එද්දි ඇයි නාමල් රාජපක්ෂලා කෑ ගහන්නේ. හරි පැහැදිලියි. සම්බන්ධ හෙළිදරව් වෙනවා.”