Local news

ජනපති අනුරගෙන් විශේෂ X සටහනක්

ජනපති අනුරගෙන් විශේෂ X සටහනක්

අද (21) දිනයේ සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ පා ගමන (Walk for Peace) වැඩසටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පූර්ණ සහයෝගය පළ කර ඇත.

“සියලු ජනයා අතර සිහිබුද්ධිය, මෛත්‍රිය, එකමුතුකම සහ සමගිය ප්‍රවර්ධනය කරමින් අද ආරම්භ වන ‘සාමයේ පා ගමන’ සඳහා සහයෝගය දැක්වීමට ලැබීම මම ගෞරවයක් කොට සලකමි.”

“මෙම පූජනීය පා ගමන දඹුල්ලෙන් ආරම්භ වී, සර්වඥ ධාතූන් වහන්සේලා සහ බෝධි අංකුරයක් ද රැගෙන දිවයින පුරා ගමන් කරන විට, අපේ උරුමය මූර්තිමත් කරන සාමය සහ කරුණාව යන සදාකාලික වටිනාකම් පිළිබඳව නැවත ආවර්ජනය කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරමි.”

සිය “X” ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර ඇත.

මෙම අධ්‍යාත්මික වැඩපිළිවෙළ ජාතික සමගිය ශක්තිමත් කිරීමටත්, ලෝක ප්‍රජාවට සාමය පිළිබඳ ගැඹුරු පණිවිඩයක් සන්නිවේදනය කිරීමටත් උපකාරී වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

අද ප්‍රදේශ රැසකට මි.මි 100 ඉක්මවු තද වැසි

අද ප්‍රදේශ රැසකට මි.මි 100 ඉක්මවු තද වැසි

අද (21) දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

යුක්තිය හොයන හත් අවුරුද්දක්

යුක්තිය හොයන හත් අවුරුද්දක්

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් ගත වී ඇති අතර ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතය.

අද පෙරවරුවේ සෑම දෙව්මැදුරකම ප්‍රහාරයේ වින්දිතයින් සැමරීම වෙනුවෙන් මෙම සැමරීම් සිදුකිරීමට නියමිත බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

ඒ අනුව මළවුන්ගේ සීනුව නාදකිරීම, විනාඩි 2ක නිශ්ශබ්දතාවය, ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන දැල්වීම, යාඤා මෙහෙය සිදුකිරීම සෑම දෙව්මැදුරකම අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව ඇත.

පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ආලෝකා දිවයිනට

පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ආලෝකා දිවයිනට

වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කළහ.

සාම පාගමන වෙනුවෙන් ‘ආලෝකා’ නම් සුනඛයා ද භික්ෂූන් වහන්සේලා සමඟ ආරක්ෂිතව මෙරටට පැමිණ ඇත.

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාම පාගමන වැඩසටහන අද (21) සිට (28) දක්වා ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නා ලද බෝධි අංකුරයක් සමග මෙම පාගමනේ වැඩමවීමට නියමිතය.

එල්ල වන චෝදනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

එල්ල වන චෝදනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගැනීමට ඊශ්‍රායලය තමා පොළඹවා ගත් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණ වලට බලපෑම් කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සහ දක්ෂිණාංශික දේශපාලන විචාරකයින්ගේ විවේචන හමුවේ ට්‍රම්ප් මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.

“මම මෙම ව්‍යාජ පුවත් සහ මත විමසුම් දෙස බලන්නේ දැඩි පිළිකුලකින්. ඔවුන් පවසන දේවලින් 90%ක්ම බොරු සහ ගොතන ලද කතා. 2020 ජනාධිපතිවරණය මෙන්ම මෙම මත විමසුම් ද දූෂිතයි.”

සිය Truth Social ගිණුම ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

මෙරටට පැමිණෙන ආලෝකාට විශේෂ ආරක්ෂාවක්

මෙරටට පැමිණෙන ආලෝකාට විශේෂ ආරක්ෂාවක්

සාම පාගමන සඳහා මෙරටට පැමිණෙන “ආලෝකා” නම් සුනඛයාගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගන්නා බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සඳහන් කරයි.

ලෝකයේම පිළිගත් සාමයේ සුරතලෙකු ලෙස සැලකෙන “ආලෝකා”ගේ ආරක්ෂාව ඉතාමත් ඉහළ මට්ටමකින් සපයන බවත් හදිසි අවස්ථා සඳහා කැපවුණු කාර්ය මණ්ඩලයක් සූදානම් කර තිබෙන බවද සඳහන් කරයි.

ඒ අනුව “ආලෝකා” වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන ගිලන්රථ සේවාවක්, ඖෂධ සහ වෛද්‍ය කණ්ඩායම් සූදානම් කර ඇති බවද ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සඳහන් කරයි.

ජපානයට බරපතල අනතුරු ඇඟවීමක්

ජපානයට බරපතල අනතුරු ඇඟවීමක්

රික්ටර් මාපකයේ 8ක් හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුත් දැවැන්ත භූකම්පනයක් ඇතිවීමේ අවදානමක් ගැන ජපාන රජය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ජපානයේ උතුරු ප්‍රදේශයට අද (20) බලපෑ රික්ටර් මාපක 7.7ක ප්‍රබලවයෙන් යුත් භූකම්පනයෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

හෙට කොච්චිකඩේ අවට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට කොච්චිකඩේ අවට විශේෂ රථවාහන සැලැස්මක්

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර 07ක් ගතවීම හේතුවෙන් හෙට (21) දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පවත්වනු ලබන විශේෂ දේව මෙහෙයකට අදාලව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරයි.

එම රථ වාහන සැලැස්මට අනුව හෙට (21) දින උදෑසන 7.00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට මාර්ගයන්හි අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කරයි.

නව බලශක්ති ඇමති දිවුරුම් දෙයි

නව බලශක්ති ඇමති දිවුරුම් දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක පත්කර ඇත.

ඒ අනුව අනුර කරුණාතිලක අද (20) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

බලශක්ති අමාත්‍ය ධුරයට අමතරව අනුර කරුණාතිලක වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.

නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට පත්ව සිටින නව තානාපතිවරු සිව් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (20) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

  1. පැපුවා නිව්ගිනියා ස්වාධීන රාජ්‍යයේ මහකොමසාරිස් ලෙස Vincent Sumale මහතා (නවදිල්ලියේ නේවාසික)
  2. සෝමාලියානු ෆෙඩරල් ජනරජයේ තානාපති ලෙස Abdullahi Mohammed Odowa (නවදිල්ලියේ නේවාසික)
  3. ලක්සම්බර්ග් ජනරජයේ තානාපති ලෙස Christian Biever (නවදිල්ලියේ නේවාසික)
  4. වතිකානයේ අපෝස්තලික තානාපති ලෙස Monsignor Andrzej Józwowicz පියතුමා
  5. පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) Nayyar Naseer
  6. කුවේට් රාජ්‍යයේ තානාපති ලෙස Saleh Mubarak Al-Sarawi

මෙසේ ජනපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතාබහකද නිරත විය.