Local news

ජපානයට ප්‍රබල භූකම්පනයක්

ජපානයට ප්‍රබල භූකම්පනයක්

ජපානයට රික්ටර් මාපක 6.3ක ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූමිකම්පනය මියාගි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 50ක් ගැඹුරින් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රට තුළ පවතින ඉන්ධන තොග ගැන අනාවරණයක්

රට තුළ පවතින ඉන්ධන තොග ගැන අනාවරණයක්

රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ හයවන රැස්වීමේ අද (15) දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එහිදී අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බවත් මේ වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඉල්ලුම් කර ඇති බවද සඳහන් කරයි.

ඉදිරියේදී ඉන්ධන සහන ලබාදීමට ඇති අවස්ථා පිළිබඳව මෙන්ම මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන ලබාදීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳවත් අවධානය යොමු කර ඇත.

විදුලි පරි⁣භෝජනය කළමනාකරණය කිරීම අරමුණු කර ගනිමින් “Clean Sri lanka” වැඩසටහන යටතේ පාසල් දරුවන් දැනුවත් කිරීම සහ විදුලි පරිභෝජනය කළමනාකරණ කරගන්නා නිවෙස් විධිමත්ව තෝරාගෙන පාසල් දරුවන් ඇගයීමේ වැඩසටහනක්‍ සහ පාසල් දරුවන් හරහා විදුලි පරිභෝජනය කළමනාකරණය කර ගත හැකි ක්‍රමවේද පිළිබඳ දැනුම්වත් කිරීම වැනි ක්‍රමවේද පිළිබඳව එහිදී ⁣සාකච්ඡා කර ඇත.

රජය නිසි පරිදි බලශක්ති කළමනාකරණය කිරීම හේතුවෙන් ජනතාව පවතින අර්බුදය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර නොමැති බවත් වෙනත් රටවල ඉන්ධන පෝළීම්, විදුලිය කප්පාදු කිරීම් සිදුවූවත් තම ආණ්ඩුව විසින් මෙම අර්බුදය නිසි පරිදි කළමනාකරණය කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

‘PayPal’ ශ්‍රී ලංකාවට.. නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

‘PayPal’ ශ්‍රී ලංකාවට.. නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (15) දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී සිදු කළේය.

ශ්‍රී ලාංකික PayPal ගිණුම් “මුදල් යැවීමට පමණක්” (Send Only) සීමා වී තිබූ අතර එමඟින් පරිශීලකයින්ට විදේශයන්ට ගෙවීම් කිරීමට හැකි වුවද ජාත්‍යන්තර සේවාදායකයින්ගෙන් මුදල් මෙරටට ලබා ගැනීමට මෙතෙක් කාලයක් නොහැකි විය. 

ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම සේවාව පුළුල් කිරීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට තම ඉපයීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකි වන අතර එමඟින් රටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යයි.

වසර 12කට අධික කාලයක් තිස්සේ පැවති සාකච්ඡා, ප්‍රමාදයන් සහ අඛණ්ඩ උත්සාහයන් රැසකින් අනතුරුව ළඟා කර ගත් මෙම ප්‍රගතිය ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය, නිදහස් වෘත්තික (Freelancer) ප්‍රජාව, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, ආරම්භක ව්‍යාපාර (Startups), සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, අපනයනකරුවන් සහ ඊ-වාණිජ්‍ය (e-commerce) ආශ්‍රිත කර්මාන්ත ආදිය සඳහා සුවිශේෂී පරිවර්තනීය පියවරක් ලෙස හැඳින්වේ.

මෙම සහයෝගීතාව අනුව, ආරම්භයක් ලෙස ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු මගින් “PayPal” සේවා මෙරට තුළ ක්‍රියාත්මක වනු ඇති අතර ඉදිරි කාලයේදී අනෙකුත් බැංකු මේ සමඟ එක්වනු ඇත.

ස්වේච්ඡාවෙන් ගිය සේවකයින්ට වන්දි

ස්වේච්ඡාවෙන් ගිය සේවකයින්ට වන්දි

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලියත් සමග ස්වේච්ඡාවෙන් ඉවත් වූ සේවකයින් සඳහා වන්දි ලබාදීම අද (15) දින ආරම්භ කර ඇත.

ඒ සඳහා රුපියල් බිලියන 8.9ක් වෙන් කර ඇති බවත් මණ්ඩලයේ සේවකයින් 1600කට ආසන්න පිරිසකට අද එම වන්දි මුදල් ලැබෙනු ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

ඩොලරයේ මිල ඉහළ⁣ට

ඩොලරයේ මිල ඉහළ⁣ට

අද (15) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී ඇත.

තවද එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 331.15ක් ලෙස සටහන් වී ඇත.

මූලික විමර්ශන අවසන්.. පල්ලේගම හිමිට නියෝග

මූලික විමර්ශන අවසන්.. පල්ලේගම හිමිට නියෝග

දැරියක් බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන් කර විමර්ශන උදෘත නීතිපතිවරයාට යොමුකළ බව නිට්ටඹුව පොලීසිය අද (15) අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

රජයේ රස පරීක්ෂක වාර්තා සහ නඩුවේ දෙවන සැකකාරියගේ බැංකු ගිණුම් වාර්තා සම්බන්ධයෙන් තොරතුරු පමණක් ඉදිරියේදී ලැබීමට නියමිත බවද විමර්ශන නිලධාරීන් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

තවද මෙම සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම සිදුවූ කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ සිට මේ වනවිට කොළඹ ජාතික රෝහලට මාරුකර ඇති බව බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ සිටින සිය සේවාදායකයාට ඉදිරි දින වලදී වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමට නියමිත වීමත්, සිදුකෙරෙමින් පවතින විමර්ශන වලට පූර්ණ සහාය දැක්වීමක් ලෙසත් මෙම අවස්ථාවේ ඇප ඉල්ලීමක් සිදු නොකරන බව සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුවේ දෙවන සැකකාරිය වන ලිංගික හිංසනයට ලක්වූයේ යැයි කියන දැරියගේ මව වෙනුවෙන් නීතිඥවරයෙකු ඇප අයැදුමක් ඉදිරිපත් කළද, ඊට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සිය විරෝධය පළ කළේය.

අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාරගතව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පළමු සැකකාර හිමිනම එළඹෙන (22) වනදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

තවද දෙවන සැකකාරිය වන ලිංගික හිංසනයට ලක්වූ දැරියගේ මව එළඹෙන (22) වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මිලියන 108ක මත්ද්‍රව්‍ය සමග භූවිද්‍යාඥයෙක් අත්අඩංගුවට 

මිලියන 108ක මත්ද්‍රව්‍ය සමග භූවිද්‍යාඥයෙක් අත්අඩංගුවට 

“කොකේන්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි ඉන්දීය ජාතික භූවිද්‍යාඥයෙක් අද (15) දින කටුනායක ගුවන් තොටුපොළදී අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් මිලියන 108ක් වටිනා “කොකේන්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි 60 හැව්රිදි ඉන්දීය ජාතික භූවිද්‍යාඥයා අද (15) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් මත්ද්‍රව්‍ය තොගය උගන්ඩාවේ කම්පාලා නුවරින් රැගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති අතර අනතුරුව කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

එම සැකකරු මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට තැත් කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරී භාරයට ගෙන ඇත.

ඉරානයට එරෙහිව තම ඉවසීමේ සීමාව ඉක්මවා යනවා

ඉරානයට එරෙහිව තම ඉවසීමේ සීමාව ඉක්මවා යනවා

පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා ඉරානය වහාම එකඟතාවකට පැමිණිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් තම ඉවසීමේ සීමාව ඉක්මවා යමින් පවතින බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

චීන නිල සංචාරය නිමා කරමින්, නික්ම යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීම සහ කලාපීය ස්ථාවරත්වය සම්බන්ධව චීනයේ සහයෝගය අපේක්ෂා කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවම්

සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවම්

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සනත් නිශාන්තට සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ අරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට වසර 5 හමාරක සිර දඬුවමක් හලාවත මහාධිකරණය විසින් අද (15) දින නියම කර ඇත.

අදාළ නඩුව අද (15) දින කැඳවූ අවස්ථාවේ, සාක්ෂි සහ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තවද, පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසත් එම ලක්ෂ 10 නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිරදඬුවමක්ද හලාවත මහාධිකරණය විසින් නියම කර ඇත.

සනත් නිශාන්ත 2024 ජනවාරි (25) වනදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මියයාම හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ඔහුගේ සොහොයුරා පමණි.

පළාත් සභා මැතිවරණය තියන්න රජය සූදානම්

පළාත් සභා මැතිවරණය තියන්න රජය සූදානම්

පළාත් සභා මැතිවරණය මේ වසර ඇතුළත පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සඳහන් කරයි.

එහෙත්, පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන්නේ මෙම වසරේ කුමන කාලසීමාවකද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බවද අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වනවා කියන අදහසේ රජය සිටින බවද අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සඳහන් කරයි.

අද (15) දින මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මේ බව සඳහන් කරයි.