Local news

මාලිමා මන්ත්‍රී පැදවූ මෝටර් රථය අනතුරක

මාලිමා මන්ත්‍රී පැදවූ මෝටර් රථය අනතුරක

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් පැදවූ මෝටර් රථය හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

ඊයේ (29) රාත්‍රී 11.45ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේදී අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති බවද සඳහන් වේ.

මෙම අනතුරින් මෝටර් රථයට හා තාප්පයට බරපතළ හානි සිදුව ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අමෙරිකාවට අහිමි වු ඩොලර් මිලියන 470ක සුපිරි යානය

අමෙරිකාවට අහිමි වු ඩොලර් මිලියන 470ක සුපිරි යානය

සෞදි අරාබියේ පිහිටි “Prince Sultan Air Base” වෙත එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් අමෙරිකානු ගුවන් හමුදාවට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 470ක් පමණ වටිනා E-3 Sentry (AWACS) වර්ගයේ ඔත්තු බැලීමේ යානයක් විනාශ වී ඇත.

මෙම ප්‍රහාරයෙන් අදාළ යානයේ රේඩාර් පද්ධතිය සහ බඳ කොටසට (Fuselage) බරපතල හානි සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සහ නිකුත් වී ඇති චන්ද්‍රිකා ඡායාරූප (Satellite Imagery) මගින් තහවුරු වෙයි.

අංක 81-0005 දරන මෙම යානය 552nd Air Control Wing ඒකකයට අයත්වන අතර එය නැවත අලුත්වැඩියා කළ නොහැකි මට්ටමට (Beyond repair) විනාශ වී ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ සඳහන් කරයි.

අමෙරිකානු ගුවන් හමුදාව සතු “පියාඹන රේඩාර් පද්ධතිය” ලෙස සැලකෙන මෙම යානය, කිලෝමීටර් සිය ගණනක් ඈතින් එන සතුරු මිසයිල, ඩ්‍රෝන සහ යානා හඳුනාගෙන ගුවන් මෙහෙයුම් මෙහෙයවීමට යොදා ගන්නා ප්‍රධානතම අවියකි.

දැනට අමෙරිකාව සතුව මෙවැනි ක්‍රියාකාරී යානා පවතින්නේ 16ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාතාල කෙරුමෙක් කුදලාගෙන එයි

පාතාල කෙරුමෙක් කුදලාගෙන එයි

ඕමානයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් “මිදිගම චූටි” අද (30) අලුයම දිවයිනට රැගෙන ඒමට නියමිතය.

ඔහුව රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් තිදෙනෙකු මේ වනවිට ඕමානය බලා පිටත්ව ගොස් ඇත.

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු වන මෙම සැකකරු රතු වරෙන්තු ලබා සිටියදී ඕමාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේය.

වසර 53කට පසුව ගගනගාමීන් 4ක් සඳට යන්න සූදානම්

වසර 53කට පසුව ගගනගාමීන් 4ක් සඳට යන්න සූදානම්

නාසා ආයතනය (NASA) අප්‍රේල් (01) වන දින ගගනගාමීන් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳ වටා ගමනක් දියත් කිරීමට නියමිතය.

පසුගිය 1972 වසරේ සිට වසර පනහකට වැඩි කාලයකට පසුව පළමුවරට මිනිසුන් රැගෙන සඳ දෙසට යෑමට නියමිත ‘ARTEMIS – II’ මෙහෙයුම සඳහා තෝරාගත් ගගනගාමීන් ෆ්ලොරිඩාවට පැමිණ ඇත.

රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර් සහ ක්‍රිස්ටිනා කොච්, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ගගනගාමී ජෙරමි හැන්සන් යන නාසා අභ්‍යවකාශගාමීන් මෙලෙස තෝරාගෙන ඇත.

අදාළ මෙහෙයුම අප්‍රේල් (01) වැනිදා දියත් කිරීමට නියමිත අතර එය ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සඳ බලා පිටත්ව යෑමට නියමිත බව නාසා ආයතනය සඳහන් කරයි.

අදාළ ගමන දින 10කින් සමන්විත අතර එම ගගනගාමින් ඔරියන් කැප්සියුලයකින් මෙම ගමන සිදුකිරීමට නියමිත අතර ඔවුන් වසර දෙකකට වැඩි කාලයක් පුහුණුව ලබා ඇති බවද සඳහන් කරයි.

මෙම මෙහෙයුමේ නියමුවා වික්ටර් ග්ලෝවර් වන අතර ඔහු සඳ අසලින් ගමන් කරන පළමු කළු ජාතික ගගනගාමියා වන බවත් ක්‍රිස්ටිනා කොච් පහළ පෘථිවි කක්ෂයෙන් ඔබ්බට යන පළමු කාන්තාව බවත් ජෙරමි හැන්සන් පළමු අමෙරිකානු නොවන ජාතිකයා වේ.

“ආරක්ෂිත කලාපය” නෙතන්යාහුගෙන් නියෝගයක්

“ආරක්ෂිත කලාපය” නෙතන්යාහුගෙන් නියෝගයක්

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සෆෙඩ් හි පිහිටි හමුදා උතුරු විධාන මූලස්ථානයේ සිට වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් නියෝගයක් නිකුත් කර ඇත.

දකුණු ලෙබනන් කලාපය තුළ පිහිටි “ආරක්ෂිත කලාපය” තවදුරටත් පුළුල් කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් එහිදී හමුදාවට උපදෙස් ලබාදී ඇත.

“දැනට පවතින ආරක්ෂිත කලාපය තවදුරටත් පුළුල් කරන ලෙස මම දැන් උපදෙස් දුන්නා. ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ පවතින තත්ත්වය මූලික වශයෙන් වෙනස් කිරීමට අප අධිෂ්ඨාන කරගෙන සිටිනවා.”

දැනටමත් එම සම්පූර්ණ කලාපයටම ඊශ්‍රායලය ඉවත් වීමේ නියෝග නිකුත් කර ඇති අතර ගොඩබිම් ආක්‍රමණයක් දියත් කරමින් නිවාස සහ යටිතල පහසුකම් විනාශ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රසිද්ධියේ පෙනී නොසිටින නව කමේනිගෙන් පණිවුඩයක්

ප්‍රසිද්ධියේ පෙනී නොසිටින නව කමේනිගෙන් පණිවුඩයක්

පත්වූදා සිට තවමත් ප්‍රසිද්ධියේ හෝ රාජ්‍ය රූපවාහිනියේ දක්නට නොලැබුණ ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා කමේනි පණිවුඩයක් නිකුත් කර ඇත.

ඒ අනුව අමෙරිකාව සහ ඊශ්‍රායලය ඇරඹූ යුද්ධයේදී ඉරාකය කටයුතු කළ ආකාරය ගැන ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා කමේනි ඉරාක පූජක පක්ෂයට සහ ජනතාවට සිය ස්තූතිය පිරිනමා ඇත.

ඉරාක උත්තරීතර ඉස්ලාමීය සභාවේ කථානායකවරයා සහ ඉරාකයේ ඉරාන තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් පසුව නව කමේනි විසින් යොමුකළ බවට පැවසෙන ලිපියක් ඉරාක නිලධාරියෙකුට ලබාදී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, මොජ්තාබා කමේනි මිය ගොස් හෝ ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

එහෙත් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන තානාපතිවරයා අවධාරනය කරන්නේ, කමේනි මහජනයා ඉදිරියට නොපැමිණීම ආරක්ෂක හේතුවක් මත බවයි.

සිංහ පෝතකයින්ගේ අලුත්ම කෙරුවාව.. කවදා තරග දිනයිද.?

සිංහ පෝතකයින්ගේ අලුත්ම කෙරුවාව.. කවදා තරග දිනයිද.?

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුගිය ලෝක කුසලාන තරගාවලයේදී දිගින් දිගටම ආබාධ වලට ගොදුරුවීම සහ ඔවුන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩකයන් වෙනුවෙන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය කිලෝමීටර 2ක දුර දිවීම සහ ස්කින් ෆෝල්ඩ් පරීක්ෂාව ඇතුළු පරීක්ෂණ 5කින් සමන්විත වන අතර එක් එක් පරීක්ෂණ වලින් ක්‍රීඩකයන් ලබාගන්නා ලකුණු අනුව සමස්ත ලකුණු ගණනය කරයි.

ක්‍රීඩකයෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වීමට නම් ලකුණු 17ට වඩා ලබාගත යුතු අතර පසුගිය දින කිහිපයේ පැවති අදාළ පරීක්ෂණයෙන් සමත්ව ඇත්තේ ඊට සහභාගීවූ ක්‍රීඩකයින් 46 දෙනෙකුගෙන් 27 දෙනෙකු පමණක් බව වාර්තා වේ.

මෙම පරීක්ෂණයේදී ලකුණු (0 – 16)ට දක්වා ලබාගන්නා ක්‍රීඩකයන් අසමත් ලෙස සැලකෙන අතර ‍ලකුණු (17 – 21) දක්වා මධ්‍යස්ථ ලෙසත් ලකුණු (22 – 26) දක්වා ඉතා හොඳ ලෙසත් ලකුණු (26 – 29) දක්වා විශිෂ්ඨ ලෙසත් කාණ්ඩ 4කට බෙදා ඇත.

එම නිර්නායකයන්ට අනුව යෝග්‍යතා පරීක්ෂණය සමත්ව ඇත්තේ ක්‍රීඩකයන් 27 දෙනෙක් පමණක් බවත් ශාරීරික යෝග්‍යතා අසමත් ලෙස සැලකෙන ලකුණු (0 – 16) දක්වා සීමාවේ ක්‍රීඩකයන් 19ක් සිටින බව වාර්තා වේ.

මෙම පරීක්ෂණය සමත්වූවන් අතරින් මධ්‍යස්ථ කාණ්ඩයේ ක්‍රීඩකයන් 16ක්, ඉතා හොඳ කාණ්ඩයේ ක්‍රීඩකයන් 9ක් සහ විශිෂ්ට කාණ්ඩයේ ක්‍රීඩකයන් දෙදෙනෙකු සිටින බව වාර්තා වේ.

ඒ අනුව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ දිගින් දිගටම අසමත් වන ක්‍රීඩකයින් තේරීම් සඳහා සලකා නොබලන බවද වාර්තා වේ.

ජනතාවට විශේෂ දැනුම්දීමක්

ජනතාවට විශේෂ දැනුම්දීමක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මාර්තු 23, 24, 26 යන තෙදින තුළ එම දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් හෙට (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව අවශ්‍ය සියලු ලේඛන රැගෙන අදාළ කාර්යාල වෙත පැමිණීමෙන් හැඳුනුම්පත් ලබා ගත හැකි බවත් 2026 මාර්තු (31) අඟහරුවාදා දින සිට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලයන්හි සුපුරුදු පරිදි එක්දින සේවය ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සඳහා ලබාදෙන ජාතික හැඳුනුම්පත් තොරතුරු සත්‍යාපනය කිරීම හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කිරීම ඇතුළු අනෙකුත් සියලුම සේවාවන් සීමා සහිතව පවත්වා ගෙන යනු ලබන බැවින් අදාළ ආයතන ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රමවේද අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කර ඇත.

ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සාමාන්‍ය සේවය / පෙරටු කාර්යාලය ක්‍රියාත්මක වන්නේ 2026 අප්‍රේල් (06) වැනි සඳුදා දින සිට වන අතර පද්ධතිය නැවත යථාවත් වූ පසු සියලු සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දියාවෙන් ලංකාවට එවූ ඉන්ධන නැවට ජනපතිගෙන් තුති

ඉන්දියාවෙන් ලංකාවට එවූ ඉන්ධන නැවට ජනපතිගෙන් තුති

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සිදුවූ දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙරටට පැමිණි ඉන්ධන නෞකාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ස්තූතිය පළ කර ඇත.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන ඉන්ධන සැපයුම් බාධා පිළිබඳව දින කිහිපයකට පෙර තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවත් එහිදී ඉන්දියාවේ කඩිනම් සහයෝගයට තමන් කෘතඥ වන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

සිය “X” ගිණුමේ සටහනක් තබමින් අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (28) මෙරටට ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක නෞකාවක් පැමිණි බවත් මේ සම්බන්ධව තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්ට සිය ස්තූතිය පළ කරන බවත් ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්ව ඇත.

ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට ඉරානයෙන් ප්‍රහාර

ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට ඉරානයෙන් ප්‍රහාර

බහරේනයේ පිහටි ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ඉරානය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගුවන් ප්‍රහාරයෙන් කර්මාන්ත ශාලාවේ සේවකයන් දෙදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවත් කර්මාන්ත ශාලාවට සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ වානේ කර්මාන්ත ශාලා දෙකකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් බහරේනයේ ඇලුමිනියම් කර්මාන්ත ශාලාව වෙත පහරදුන් බව ඉරාන විප්ලවීය හමුදාව සඳහන් කරයි.