මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන් යළිත් ඉහළ ගොස් ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 3.08%කින් ඉහළ ගොස් ඩොලර් 78.35ක් ලෙස සටහන්ව ඇත.
තවද WTI බොරතෙල් මිල 3.09%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 73.62ක් ලෙස සටහන්ව ඇත.
ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.
ඉරාන ප්‍රහාර හේතුවෙන් ගුවන් හමුදා කඳවුරේ ඉන්ධන ගබඩාවක සහ පතොරම් ගබඩා කිහිපයක ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය ඉරාන වෙරළබඩ හමුදා කඳවුරු වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේ පළමු අදියර වන බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කරයි.
කටාර්හි පිහිටි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල කර ප්‍රහාරක ජෙට් යානා නඩත්තු මධ්‍යස්ථානයක් සහ අණදෙන හා පාලන පහසුකම් මධ්‍යස්ථානයක් විනාශ කළ ඉරානය සඳහන් කරයි.
ඕමානයේ පිහිටි අමෙරිකානු නාවික හමුදා සැපයුම් මධ්‍යස්ථානයක් සහ ඉන්ධන පිරවුම් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවද ඉරානය සඳහන් කරයි.
තවද ජෝර්දානයේ පිහිටි අමෙරිකා හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කළ බවත් එහිදී ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරේ අණදෙන සහ පාලන මධ්‍යස්ථානය සහ MQ-9 ඩ්‍රෝන යානා රඳවා තබන මධ්‍යස්ථාන විනාශ කළ බවද ඉරානය සඳහන් කරයි.
මැදපෙරදිග යුද ගැටුම් නැවතත් ආරම්භ කරමින් ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.
මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කරමින් ඉරානය නැවතත් මෙම ප්‍රහාර එල්ල කර ඇත.
ජොර්දානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇත.
තවද කුවේට් සහ බහරේනයේ අමෙරිකානු හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කරමින් ඉරානය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් කටාර් සහ බහරේන් ඔවුන්ගේ ආරක්ෂක අනතුරු ඇඟවීම් ඉහළ නංවා ඇත.
ඉරානය විසින් නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව නැවත දැනුම්දෙන තුරු මුහුදු මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කරයි.
සයිප්‍රස් නෞකාවක් අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කිරීමත් සමගින් ඉරානය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයත් සමග නැවත හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඉරානයට අනතුරු ඇඟවීම සිදුකර ඇත.
ඉරානය තමන් ඝාතනය කිරීමට උත්සාහ කළහොත් හෝ එවැනි උත්සාහයක් ක්‍රියාත්මක කළහොත් අමෙරිකානු හමුදා ඉරානයේ සියලු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
ඉරාන හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය ඉරාන ශියා මුස්ලිම්වරුන්ගේ පූජනීයම ස්ථානයක් වන මෂ්හද් නගරයේ පිහිටි ඉමාම් රෙසා දේවස්ථානයේදී මිහිදන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සහ අසල්වැසි ඉරාකයේ නගර කිහිපයක දින හයක් පුරා පැවැති මහජන ශෝක උත්සවයන්ගෙන් අනතුරුව අවසන් ආගමික කටයුතුවලින් පසුව මෙම මිහිදන් කිරීම සිදු කළේය.
ඉරාන හිටපු උත්තරිතර නායක අයතුල්ලා අල් කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණ සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි ටෙහෙරානය සහ කොම් නගරවල පැවැති අවමංගල්‍ය උත්සවවලට සහභාගි නොවූ අතර මෂ්හද්හි පැවැති මිහිදන් කිරීමේ අවස්ථාවටද ඔහු සහභාගි වූ බවට කිසිදු නිල තහවුරු කිරීමක් නොමැත.
ඉරානය සහ අමෙරිකාව අතර නැවතත් ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇත.
අද (09) උදෑසන වන විට WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74.28 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.03ක වැඩිවීමකි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78.81ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.01ක වැඩිවීමකි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.57ක් ලෙස දැක්වෙයි.
නිර්භීත ඉරාන ජාතියට අපහාසාත්මක භාෂාවෙන් ආමන්ත්‍රණය කිරීමෙන් එහි ශ්‍රේෂ්ඨත්වය අඩු නොවන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.
තවද ඉරානය අශිෂ්ටත්වයට අශිෂ්ටත්වයෙන් පිළිතුරු දෙන්නේ නැති බවත් නමුත් ක්‍රියාවෙන් ඔප්පු කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි “X” හි සටහනක් තබමින් ප්‍රකාශ කළේ,
“ඉරානය ශිෂ්ට හා නිර්භීත ඉරාන ජාතියට අපහාසාත්මක භාෂාවෙන් ආමන්ත්‍රණය කිරීමෙන් එහි ශ්‍රේෂ්ඨත්වය අඩු නොවේ.
ඉරාන ජාතිකයන් ඔවුන්ගේ ශිෂ්ටත්වය, සංස්කෘතිය සහ ශක්තිමත් සදාචාරාත්මක වටිනාකම් සඳහා ප්‍රසිද්ධය.
අපි අශිෂ්ටත්වයට අශිෂ්ටත්වයෙන් පිළිතුරු දෙන්නේ නැහැ. නමුත් ක්‍රියාවෙන්, නිර්භීතව සහ මහත් ධෛර්යයෙන්.”
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවමින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මේ බව ප්‍රකාශ කර ඇත.
අද රාත්‍රියේදී ඉරානයට බොහෝ දුරට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
තවද ඉරානයට එරෙහිව නැවතත් නාවික අවහිරතාවක් පැනවීමට කටයුතු කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
අමෙරිකාව සහ ඉරානය අතර අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රහාර එල්ල කර ගැනීමෙන් පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර ඇත.
“මට ඔවුන් සමඟ තවදුරටත් කටයුතු කිරීමට අවශ්‍ය නැත, ඔවුන් ජරාවක්. ඔවුන් අසනීප මිනිසුන්, ඔවුන් අසනීප මිනිසුන් විසින් මෙහෙයවනු ලැබේ.”