Foreign news

ඉරාන උත්තරීතර නායක කමේනිගේ අවමංගල්‍ය උත්සවයට ලක්ෂ ගණනක ජනතාවක්

ඉරාන උත්තරීතර නායක කමේනිගේ අවමංගල්‍ය උත්සවයට ලක්ෂ ගණනක ජනතාවක්

අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කළ ප්‍රහාර වලින් ඝාතනයට ලක්වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය (04) දින සිට නිල වශයෙන් ආරම්භ කළේය.

හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් දින කිහිපයක් රට පුරාම මහජන ශෝක උත්සව සහ අවමංගල්‍ය පෙරහැර මේ වනවිටත් ආරම්භ කර ඇත.

උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් මාස 4ක් ඉක්මවා ගිය පසුව සිය ආධ්‍යාත්මික නායකයාට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව ඉරාන ජනතාවට හිමිව ඇත.

තම නායකයාගේ වියෝවෙන් සංවේදී වූ ලක්ෂ සංඛ්‍යාත ඉරාන වැසියන් අලුයම සිටම දිගු පෝලිම්වල රැඳී සිටි අතර යාඥා සංකීර්ණයේ දොරටු විවෘත කිරීමත් සමඟ ඔවුහු අවසන් ගෞරව දැක්වීම සඳහා ඇතුළු විය.

එකල පැවති දැඩි යුද වාතාවරණය හේතුවෙන් ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව භූමදාන කටයුතු සිදු කිරීමට නොහැකි වු අතර ලබන බ්‍රහස්පතින්දා ඔහුගේ උපන් ගම වන මෂාඩ්හි භූමදානය කිරීමට නියමිතය.

ඉරාන ජාතික ධජයෙන් ආවරණය කරන ලද කමේනිගේ දේහය මේ වනවිට ටෙහෙරාන් නුවර පිහිටි ග්‍රෑන්ඩ් මොසල්ලා ඉස්ලාම් දේවස්ථානයේ තැන්පත් කර ඇත. 

තනිකඩයින්ට ජීවමාන සමකින් ආවරණය වූ රොබෝ සහකරුවෙක්

තනිකඩයින්ට ජීවමාන සමකින් ආවරණය වූ රොබෝ සහකරුවෙක්

මානව සබඳතා සහ නවීන තාක්ෂණය මුසු කරමින් සුවිශේෂී මානවරූපී (Humanoid) රොබෝවරුන් පෙළක් වෙළෙඳපොළට හඳුන්වා දීමට චීනයේ ප්‍රමුඛ පෙළේ රොබෝ තාක්ෂණ සමාගමක් වන (UBTech) පියවර ගෙන ඇත.

‘U1’ ලෙස නම් කර ඇති මෙම රොබෝවරුන් නිර්මාණය කර ඇත්තේ මිනිසාට වඩාත් සමීප සහකරුවෙකු ලෙස කටයුතු කිරීමට වන අතර පාරිභෝගිකයාගේ කැමැත්ත පරිදි ඔවුන්ව නිර්මාණය කළ හැකි වීම මෙහි සුවිශේෂි ලක්ෂණයකි.

තමන්ගේ ආදරණීයයන්ගේ හෝ ප්‍රසිද්ධ කීර්තිමත් පුද්ගලයන්ගේ ස්වරූපයට සමාන වන ලෙස මෙම රොබෝවරුන්ව ඇණවුම් කිරීමට ගැනුම්කරුවන්ට අවස්ථාව පවතියි.

මෙම රොබෝවරුන් නම්‍යශීලී, ජීවමාන සමකින් ආවරණය වී ඇති අතර සැබෑ මිනිස් නියපොතු වලට සමාන නියපොතු සහ දෑත්වලින් සමන්විත බවත් හඳුනාගැනීම සඳහා අක්ෂි කැමරා, පපුවේ සවි කළ සංවේදක (Sensors) සහ ශ්‍රවණ මයික්‍රොෆෝනවලින්ද යුක්ත වේ.

මිනිසුන් සමග අදහස් හුවමාරු කරගැනීමේ සහ සැබෑ සහකරුවෙකු මෙන් කතාබස් කිරීමේ ඉහළ හැකියාව පවතින අතර තනිකමෙන් සහ පාළුවෙන් කල්ගෙවන පුද්ගලයන්ට ජීවමාන ‘ඇන්ඩ්‍රොයිඩ් සහකරුවෙකු’ ලෙස මොවුන් සහය වනු ඇත.

චීන යුවාන් 119,800 (අ.ඩො. 17,600ක් පමණ) සිට තාක්ෂණික උපාංග සහ හැඩගැස්වීම් මත යුවාන් 990,000 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇත.

පාකිස්තානයේ බිහිසුණු බස් අනතුරෙන් 40ක් මරුට

පාකිස්තානයේ බිහිසුණු බස් අනතුරෙන් 40ක් මරුට

පාකිස්තානයේ අධිවේගී මාර්ගයක ගමන් කළ බස් රථයක් පාෂාණමය මිටියාවතකට පෙරළී ගොස් බිහිසුණු අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථානයේ ක්වේටා සිට පෙෂාවර් දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

11 හැවිරිදි දරුවෙක් පැදවූ කැබ් රථයක ගැටී භික්ෂූන් වහන්සේලා 08 නමක් අපවත් වෙති

11 හැවිරිදි දරුවෙක් පැදවූ කැබ් රථයක ගැටී භික්ෂූන් වහන්සේලා 08 නමක් අපවත් වෙති

තායිලන්තයේ මුක්දහාන් පළාතේ පාගමනක යෙදී සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් දෙසට කැබ් රථයක් කඩා වැදීමෙන් භික්ෂූන් වහන්සේලා අට නමක් අපවත් වී ඇති බව එරට පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් එම ස්ථානයට ළඟා වනවිටත්, අනතුර හේතුවෙන් භික්ෂූන් වහන්සේලා කිහිපනමක් මාර්ගය අසල වැටී සිටි බව වාර්තා වේ. 

අනතුරින් භික්ෂූන් වහන්සේලා පස් නමක එම ස්ථානයේදීම අපවත් වී ඇති අතර බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ භික්ෂූන් වහන්සේලා අතරින් තිදෙනෙකු රෝහලේදී අපවත් වී ඇති බව එරට පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුරින් තවත් භික්ෂූන් වහන්සේලා 13 නමකට බරපතළ තුවාල සිදුව ඇති අතර එම භික්ෂූන් වහන්සේලා 13 මේ වනවිට රෝහල් වෙත ඇතුළත් කර අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් පවතින බව එරට පොලිසිය සඳහන් කරයි.

මූලික පොලිස් පරීක්ෂණ වලට අනුව අනතුර සිදුකර ඇති කැබ් රථය පදවා ඇත්තේ 11 හැවිරිදි බාලවයස්කාර දරුවෙක් බව හෙළිවී ඇත.

අමෙරිකා – ඉරාන තීරණාත්මක සාකච්ඡා අරඹයි

අමෙරිකා – ඉරාන තීරණාත්මක සාකච්ඡා අරඹයි

අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡා වටයක් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී ආරම්භ වී ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සහ කලාපය තුළ කල් පවතින සටන් විරාමයක් ඇති කර ගැනීම අරමුණු කරගනිමින් මෙම සාකච්ඡා ආරම්භ කළේය.

දෙපාර්ශ්වයේම නියෝජිතයන් අතර මෙම සාකච්ඡා මුහුණට මුහුණලා (ඍජුව) නොපැවැත්වෙන අතර එය වක්‍ර තාක්ෂණික සාකච්ඡා මාලාවක් ලෙස ක්‍රියාත්මක වේ.

අමෙරිකාව නියෝජනය කරමින් එරට විශේෂ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් මේ වනවිට දෝහා වෙත පැමිණ ඇත.

ඉරානය ⁣නියෝජනය කරමින් එරට උසස් පෙළේ නියෝජිතයින් පිරිසක් දෝහා වෙත පැමිණ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇත.

අමෙරිකා – ඉරාන තීරණාත්මක හමුව

අමෙරිකා – ඉරාන තීරණාත්මක හමුව

මැදපෙරදිග පවතින යුද ගැටුම් නවතා යළිත් සාකච්ඡා ආරම්භ කිරීමට ඉරානය සහ අමෙරිකාව එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉරානය සහ අමෙරිකාවේ බලධාරීන් එළඹෙන අඟහරුවාදා කටාර් රාජ්‍යයේ දෝහාහිදී හමුවී සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

එහිදී හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සහ දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තා වේ.

නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු

නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු

ශ්‍රී ලාංකේය ජාතියේ ගමන්මඟ අර්ථ සම්පන්න ලෙස වෙනස් කළ උතුම් වූ බුදු දහම මෙරටට ලැබුණේ අද වන් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකදීය.

ථෙරවාද බෞද්ධ දර්ශනයේ සහ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භයද අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සමඟ සනිටුහන් කෙරුණු අතර, සමාජ පරිවර්තනයක් සමග අධ්‍යාත්මික ප්‍රබෝධක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගොස් අප රටෙහි සංස්කෘතික, සමාජීය සහ දේශපාලන ආදී සෑම ක්ෂේත්‍රයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කළේය.

එමෙන්ම, ජාතියක් ලෙස නැගී සිටීමේ ශක්තිමත් අත්තිවාරමක් සමඟ අධ්‍යාපනයේ පරිවර්තනයක්ද ඇති කළ බුදු දහම, පන්සල පිරිවෙන බවට පත් කරමින් රටේ ජනතාව තුළ අධ්‍යාත්මික පෙරළියක් ඇති කිරීම උදෙසා දැනුමේ කේන්ද්‍රස්ථානයක සමාජ මෙහෙවරද ඉටු කළේය. එපමණක් නොව වාස්තු විද්‍යාව, චිත්‍ර කලාව, වාරි කර්මාන්තය, ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් කලාව ආදී කලා නිර්මාණයන්ගේ නව පරිවර්තනයක් ඇති කරමින් අප ජාතිය ප්‍රෞඪ ජාතියක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීය.

එවන් අභිමානවත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක වත්මන් උරුමකරුවන් වන අප සියලු දෙනාහට අද දවසේ පැවරී ඇති අත්හළ නොහැකි වගකීම වන්නේ මේ වන විට සමාජය තුළින් වියැකී යන සාරධර්ම සහ හර පද්ධතින් යළි කැඳවාගෙන එමින්, ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට එක්ව කැපවීමයි. එහිදී පාර්ලිමේන්තුව, රාජ්‍ය ආයතන ඇතුළු සියලු සංදර්භයන් තුළට ශිෂ්ටත්වය කැඳවාගෙන ඒමේ අරගලයේ අපි මේ වන විටත් නිරතව සිටින්නෙමු.

ආචාරධාර්මික පැවැත්මක් නොමැති රටකට සැබෑ දියුණුවක් කරා ළඟා විය නොහැකිය. මිහිදු මහරහතන් වහන්සේ දේශනා කළ “චුල්ලහත්ථිපදෝපම” සූත්‍රයෙන් අවධාරණය කෙරෙන්නේ අනුපූර්ව ශික්ෂණයේ වැදගත්කමයි.

බුදු දහමත් සමග මෙරටට ලැබුණු එම අභිමානවත් ශිෂ්ට සම්පන්න සමාජයේ උරුමය ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින්, රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික නව ආකල්ප සහිත නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු’යි මම සියලු දෙනාට ආරාධනා කරමි.

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා.!

උණුසුම් කාලගුණය හේතුවෙන් ප්‍රංශයේ මරණ 1,000ක්

උණුසුම් කාලගුණය හේතුවෙන් ප්‍රංශයේ මරණ 1,000ක්

මේ දිනවල පවතින අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් මරණ 1000ක් ප්‍රංශයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවට බලධාරීන් රතු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල පුද්ගලයින් මියයාම ඉහළ ගොස් ඇති බව එරට මහජන සෞඛ්‍ය ආයතනය සඳහන් කරයි.

මියගිය පුද්ගලයින්ගෙන් සියයට 85ක්ම වයස අවුරුදු 65ක් හෝ ඊට වැඩි වයස්වල පසුවන්නන් බවත් ඇතැම් ප්‍රදේශ වල සෙල්සියස් අංශක 40ට වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා වන බවද සඳහන් කරයි.

අමෙරිකානු හමුදා ස්ථාන 08කට ඉරානයෙන් ප්‍රහාර

අමෙරිකානු හමුදා ස්ථාන 08කට ඉරානයෙන් ප්‍රහාර

ඉරානය විසින් කුවේට් සහ බහරේන්හි පිහිටා ඇති අමෙරිකානු හමුදා ස්ථාන 08ක් වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව සඳහන් කරයි.

ඉරානයට එල්ල කළ ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් මෙලෙස කුවේට් සහ බහරේනයේ පිහිටා ඇති අමෙරිකානු හමුදා ස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව සඳහන් කරයි.

තවද හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සහ කරනු ලබන නෞකාවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව සඳහන් කරයි.

මේ අතර ගුවන් ආරක්ෂක පද්ධති ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර මැඩ පැවැත්වීමට උත්සහ කරන බැවින් ජනතාව ආරක්ෂිත ස්ථානවල රැදී සිටින ලෙස කුවේට් සහ බහරේන් බලධාරීන් දැනුම් දී ඇත.

ඉරානයේ මිසයිල, ඩ්‍රෝන ගබඩා සහ රේඩාර් වෙත අමෙරිකාවෙන් ප්‍රහාර

ඉරානයේ මිසයිල, ඩ්‍රෝන ගබඩා සහ රේඩාර් වෙත අමෙරිකාවෙන් ප්‍රහාර

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැවකට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස අමෙරිකානු ගුවන් හමුදාව විසින් ඉරානයේ මිසයිල, ඩ්‍රෝන යානා ගබඩා වලට සහ ඉරාන වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථානය වෙතද ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ‘Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, සටන් විරාම ගිවිසුම ඉරානය විසින් නැවත වතාවක් උල්ලංඝනය කර ඇති බවත් ඔවුන් කිසිදා ඉගෙන නොගන්නා බව පෙනෙන්නට තිබෙන බවයි.

තවද ඉදිරියේදී සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි බවත් මීට පෙර තමන් විසින් ඉතා සාර්ථකව ආරම්භ කළ මිලිටරි ක්‍රියමාර්ගය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට සිදුවනු ඇති බවත් එසේ වන්නේ නම් ඉරාන ඉස්ලාමීය ජනරජය මෙලොවින් සදහටම නැතිවී යනු ඇති බවද ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරයි.