Local news

ලාෆ් ගෑස් ගැන දැනුම්දීමක්.!

ලාෆ් ගෑස් ගැන දැනුම්දීමක්.!

සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගම නිවේනදයක් නිකුත් කර ඇත.

වර්තමානයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000ක එල් පී ගෑස් ආනයන-අපනයන ගබඩා පර්යන්තය දේශීය සැපයුම සඳහා භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් බව සඳහන් කරයි.

එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් කරගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් අදාළ රජයේ බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණ කටයුතු කරන බවද එම සමාගම සඳහන් කරයි.

දේශීය ගෘහස්ත එල් පී ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ඍජුවම ගෑස් තොග කොළඹ වරාය හරහා මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කර ඇති බවද සඳහන් කරයි.

ගෑස් තොග කොළඹ වරායට ළඟා වූ වහාම සමාගමට අයත් සිලින්ඩර පිරවුම් පර්යන්තයේදී එම ගෑස් සිලින්ඩරගත කර, දිවයින පුරා අඛණ්ඩව බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බවද එම සමාගම සඳහන් කරයි.

AI රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය.!

AI රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය.!

කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමුහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

AI පහසුකම් අඩු වියදමකින් ලබාගත හැකි වීම, මධ්‍යගත පාලනයකින් යුත් භාෂා දත්ත කට්ටල, පොදු ඇගයීම් ක්‍රම සහ ආරක්ෂක මෙවලම්, ඒකාබද්ධ ධාරිතා සංවර්ධනය යන මූලික කරුණු 04 මත පදනම් කරගත් කලාපීය සහයෝගීතාවක් ශ්‍රී ලංකාව යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර එහි රාජ්‍ය නායක සැසියේ සමාරම්භක අවස්ථාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan, බ්‍රසීල ජනාධිපති Lula de Silva සහ භූතානයේ අගමැති Tshering Tobgay ඇතුළු රාජ්‍ය නායකයෝ සහ රාජ්‍ය තාන්ත්‍රිකයෝ රැසක් ඊට එක් වූහ.

AI Impact 2026 සමුළුවේ නායක සැසියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය,

“කෘත්‍රිම බුද්ධිය විසින් ආර්ථිකයන්, රාජ්‍ය පාලන පද්ධති සහ සමාජයන් වෙනස් කරමින් පවතින මේ සුවිශේෂී මොහොතේ නවදිල්ලියේදී ඔබත් සමඟ එක් වීමට ලැබීම මට මහත් ගෞරවයක්. AI තාක්ෂණය පසුගිය සියවස්වල කාර්මීකරණය විසින් ඇති කළ ආකාරයටම ජාතික වර්ධන ගමන් මඟ කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරන පරිවර්තනීය බලවේගයක්.

නමුත් AI තාක්ෂණයෙන් සවිමත් රටවල් සහ එවැනි හැකියාවක් නොමැති රටවල් අතර වැඩි වෙමින් පවතින පරතරය බොහෝ රටවල ඩිජිටල් ආර්ථිකයේ වියුක්ත කිරීමේ බරපතළ අවදානම නිර්මාණය කරනවා. මේ ආකාරයට පසුබසින රටවල් ගෝලීය වර්ධනය සහ නව්‍ය ආර්ථික අවස්ථාවලින් තවදුරටත් විවිධ අතුරු බලපෑම්වලට ලක් විය හැකියි. එමඟින් අපි අපේක්ෂා කරන සියලුදෙනා ඇතුළත් සාධාරණ සහ තිරසාර සංවර්ධන අරමුණුද අවදානමට ලක් වෙනවා.

බොහෝ නැඟී එන ආර්ථිකයන් මෙන්ම ශ්‍රී ලංකාවත් AI තාක්ෂණය සම්පූර්ණ ලෙස භාවිතා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් තවමත් සම්පූර්ණ කරගෙන නැහැ. ඒ නිසා නිසි අභිප්‍රායක් සහ දැක්මක් සමඟින් අප විශ්වාසයෙන් හා නොපැකිළිව ක්‍රියා කළ යුතු තීරණාත්මක් මොහොතක් එළැඹ තිබෙනවා.

තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ තරුණ මානව සම්පතක් ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. එමෙන්ම අපිට ශක්තිමත් නීති පද්ධතියක් සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සමඟ බැඳුණු ආර්ථික සංස්කෘතියක්ද තිබෙනවා. අපි පෞද්ගලික දත්ත ආරක්ෂණය සහ සයිබර් ආරක්ෂණය පිළිබඳ නීතිමය රාමු නවීකරණය කරමින් ඩිජිටල් පොදු යටිතල පහසුකම් සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් නවෝත්පාදන දිරිමත් කරන මහජන විශ්වාසය රැකගත හැකි ආයතන ශක්තිමත් කරමින් සිටිනවා.

ලෝකයාද AI තාක්ෂණයේ අභිප්‍රායන්, අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ විවාද කරමින් සිටිනවා. එහෙත් මෙහිදී මෙතෙක් මඟහැරී ගිය තීරණාත්මක පැතිකඩක් පෙන්වා දීමට කැමතියි. එනම් සංස්කෘතික ගැලපීමයි. මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් සහ හැකියාවන් තවදුරටත් ප්‍රවර්ධනයට මේ තාක්ෂණයන් ඉවහල් කරගත යුතුයි.

ලෝක මට්ටමේ AI තාක්ෂණය භාෂා හා මතවාදයන් කිහිපයකට පමණක් සීමා වුවහොත් අපේ අනන්‍ය වු සංස්කෘතික විවිධත්වය ගිලිහී යාමේ අවදානමක් පවතිනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවලට තම භාෂාව සහ සංස්කෘතිය යනු ගෞරවය මෙන්ම විශ්වාසයේ පදනමයි. මෙවැනි සංස්කෘතික ගැලපීමක් සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් අන්තර්ග්‍රහණය සහ සංරක්ෂණය සිදු වීම අවශ්‍යයි. මෙහිදී අපගේ දේශීය භාෂා සහ සංස්කෘතික දැනුම ඩිජිටල්කරණය කර ඒවා කෘත්‍රි බුද්ධිය පද්ධති තුළට බද්ධ කළ යුතුයි.

එමෙන්ම ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳ උපරිම අවධානය යොමු වීම වැදගත්. අපේ සංස්කෘතික වටිනාකම්වලට AI මගින් සිදුවන අහිතකර බලපෑම්වලින් ආරක්ෂාවීමේ පද්ධති ස්ථාපිත කළ යුතු වෙනවා.

අපගේ දැක්ම හුදකලා සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම නොවෙයි. ඒකාබද්ධ වීමයි. AI යටිතල පහසුකම් අපි දකින්නේ ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාවයේ ඊළග මායිම ලෙසයි. ඒ නිසා ශ්‍රී ලංකාව කලාපීය සහයෝගීතාවක් යෝජනා කරනවා. එහිදී එය අඩු වියදමකින් ලබාගත හැකි වීම, මධ්‍යගත පාලනයකින් යුත් භාෂා දත්ත කට්ටල, පොදු ඇගයීම් ක්‍රම සහ ආරක්ෂක මෙවලම් මෙන්ම ඒකාබද්ධ ධාරිතා සංවර්ධනය යන මූලික කරුණු 04 මත පදනම් වීම ඉතා වැදගත්.

මේ ප්‍රයත්නය මගින් AI හි ප්‍රතිලාභ වෙත අප සැමට පුළුල් හා සාධාරණ ලෙස ප්‍රවේශ විය හැකි බව මාගේ විශ්වාසයයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව ජාතික මෙන්ම කලාපීය මට්ටමේ අවශ්‍යතාද සපුරලිය හැකි AI හැකියාවන්ගෙන් යුත් දත්ත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ ගවේෂණය කරමින් සිටිනවා.

ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ තාක්ෂණික කුසලතා පිළිබඳව ගෝලීය නායකත්වයන් අත්පත් කර ගනිමින් සිටින ඉන්දියාව සහ අනෙකුත් රාජ්‍යයන් සමඟ සමීපව කටයුතු කරමින් තිරසාර, ආරක්ෂිත සහ අනාගතයට සූදානම් කලාපීය AI දත්ත මධ්‍යස්ථාන ධාරිතාවන් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාවට විශාල විභවයක් තිබෙනවා.

කිසිදු රටකට AI සඳහා සූදානම් අනාගතයක් තනිව ගොඩනඟාගත නොහැකි බව අපගේ වැටහීමයි. ලෝකය සහ මෙම කලාපයේ රාජ්‍යයන්ගේ අදහස් රැසක් සැලකිල්ලට ගනිමින් අප විසින් නවදිල්ලියේදී එකඟවන ඒකාබද්ධ ප්‍රකාශයේ මෙම සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කර තිබීම සතුටට කරුණක්.

ඒ නිසා කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමුහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සුදානම් බව ප්‍රකාශ කිරීමට කැමතියි.”

ගණේමුල්ල සංජීව ඝාතනයේ නීතීඥවරියගේ තවත් හොර වැඩක් මාට්ටු.!

ගණේමුල්ල සංජීව ඝාතනයේ නීතීඥවරියගේ තවත් හොර වැඩක් මාට්ටු.!

සංවිධානාත්මක අපරාධකරු ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධව රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ තමරා අබේරත්න විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආරම්භ කළ බැංකු ගිණුම් 08ක් ගැන විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

එම නීතිඥවරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අදාල බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවත් ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර මෙම බැංකු ගිණුම් විවෘත කර තිබෙන බවද පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කරයි.

මෙම බැංකු ගිණුම් හරහා විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

හිටපු දේශපාලඥයින්ට ලබාදුන් ගිනිඅවි රැසක් අතුරුදන්.!

හිටපු දේශපාලඥයින්ට ලබාදුන් ගිනිඅවි රැසක් අතුරුදන්.!

විවිධ දේශපාලඥයින්ට පසුගිය කාලයේදී ගිනිඅවි නිකුත් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කරයි.

එම දේශපාලඥයින්ට නිකුත් කළ සමහර ඒවා දීපු තැනක්වත් හොයාගන්න නැති බවත් සමහර ගිනිඅවි සම්බන්ධ දත්ත වාර්තා කිසිවක් නැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලෙස ගිනිඅවි ආඥා පනත සංශෝධනය කිරීමට කටයුතු කරගෙන යන බවත් 2024 වසරේදී ගිනිඅවි සමීක්ෂණයක් කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එම සමීක්ෂණයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බවත් ගිනිඅවි සම්බන්ධයෙන් දැඩි නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අද (19) දින පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරයි.

දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි.!

දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි.!

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් Sandile Edwin Schalk අද (19) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) හමුවිය.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සහ අන්‍යොන්‍ය ආරක්ෂක අවශ්‍යතා හඳුනා ගැනීම පිළිබඳව මෙහිදී සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

තවද දෙපාර්ශ්වය අතර සහයෝගීතාව ඉහළ නැංවිය හැකි අවස්ථා පිළිබඳව ද අදහස් හුවමාරු කරගත් අතර, මිත්‍රශීලී සබඳතා වර්ධනය කර ගැනීමට දෙපාර්ශවයේ කැපවීම මෙහිදී යළි තහවුරු කෙරිණි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පවතින දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයා සිය ප්‍රශංසාව පළ කළේය.

ආරක්ෂක ලේකම්වරයා විසින් උණුසුම් අයුරින් පිළිගැනීම වෙනුවෙන් දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා සිය කෘතඥතාව පළ කළ අතර අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීමට දකුණු අප්‍රිකාව සූදානම් බවද යළි අවධාරණය කළේය.

හිටපු ජනාධිපතිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්.!

හිටපු ජනාධිපතිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්.!

දකුණු කොරියානු අධිකරණය විසින් කැරැල්ලක් සැලසුම් කිරීමේ වරදට හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීමෙන් අනතුරුව කැරැල්ලට නායකත්වය දීම සම්බන්ධයෙන් වැරදිකරු කරමින් හිටපු ජනාධිපතිවරයාට මෙම දඬුවම නියම කර ඇත.

මගේ විශ්‍රාම වැටුප නැති වුණා.. මම රාජ්‍ය සේවකයෙක්.!

මගේ විශ්‍රාම වැටුප නැති වුණා.. මම රාජ්‍ය සේවකයෙක්.!

තමාගේ විශ්‍රාම වැටුප නැති වුණ බවත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයේ සේවකයින් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සඳහන් කරයි.

නවීන් දිසානායක සඳහන් කළේ,

“මගෙත් පෙන්ෂන් පඩිය නැති වුණා. ඒක ඇත්ත වශයෙන්ම පෞද්ගලික මට ඒක හානියක් වෙන්නේ නෑ. මම එකක් කියන්න ඕන, මේ සියලුම මන්ත්‍රීවරුන් රජයේ සේවකයන්.

ඉතින් රජයේ සේවකයන්ට අනිවාර්යෙන්ම පෙන්ෂන් එකක් ලැබෙනවා. රාජ්‍ය සේවකයෙක්ට පෙන්ෂන් එක ලැබෙනවා නම්, මට තේරෙන්නේ නෑ ඇයි හිටපු මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් එක දෙන්නේ නැත්තේ කියලා.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී නවීන් දිසානායක මේ බව සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් නතාෂා ගැන ස්ථානාධිපති කණගාටු වෙයි.!

අත්අඩංගුවට ගත් නතාෂා ගැන ස්ථානාධිපති කණගාටු වෙයි.!

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්.එම්.යූ. සුබසිංහ අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය කණගාටුව ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු පී. පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළේය.

මෙම පනත යටතේ සිදුකරන නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත සති දෙකක් ඇතුළත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

නතාෂා එදිරිසූරියව 2023 මැයි (27) වන දින සිදුකළ අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම මෙන්ම ඒ හරහා ඇයගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදුවූ හානිය මෙන්ම ඇයට ඇති වූ මානසික පීඩාවන් පිළිබඳව බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද අත්අඩංගුවට ගත් නිලධාරියා සිය ලිපියේ සඳහන් කර ඇත.

අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය නියෝග කළේය.

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්.!

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්.!

ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ප්‍රමාණවත් පරිදි තොග සමාගම සතුව පවතින බවත් අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවද ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

එනිසා අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම ජනතාවට දැනුම් දෙයි.

පෙබරවාරි (17) සහ (18) යන දිනවල අපි දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර ඇති බවද එම සමාගම සඳහන් කරයි.

අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද එම සමාගම සඳහන් කරයි.

අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග මේ වනවිටත් ඇණවුම් කර ඇති බවත් සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ගෑස් නැව් තුනක් මෙරටට පැමිණීමට නියමිත බවද එම සමාගම සඳහන් කරයි.

මන්ත්‍රීවරයෙක්ට ගෙවනු ලබන වැටුප් හා දීමනා මුදල හෙළිකරයි.!

මන්ත්‍රීවරයෙක්ට ගෙවනු ලබන වැටුප් හා දීමනා මුදල හෙළිකරයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ගෙවන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හෙළි කරයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මාසිකව රුපියල් 54‍,285ක දීමනාවක් ගෙවනු ලබයි.

මාසික සංග්‍රාහ දීමනාව ලෙස රුපියල් 1,000ක මුදලක් ගෙවනු ලබයි.

මාසික රියදුරු දීමනාව ලෙස රුපියල් 3,500ක් ගෙවනු ලබයි.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මගින් රියදුරෙකු ලබාගතහොත්, එම මන්ත්‍රීවරයාට රියදුරු දීමනාවක් ගෙවනු නොලැබේ.

දුරකථන දීමනාව ලෙස රුපියල් 50,000ක්, ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 15,000ක් ගෙවනු ලබයි.

කාර්යාල දීමනාව රුපියල් ලක්ෂයක් වන අතර රැස්වීම් දීමනාව ලෙස දිනකට ගෙවනු ලබන මුදල රුපියල් 2,500කි. 

පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීම වෙනුවෙන් දිනකට රුපියල් 2,500ක් සහ කාරක සභා දීමනාව ලෙස දිනකට රුපියල් 2,500ක් ගෙවනු ලබයි.

පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් සඳහා දිනකට රුපියල් 2,500ක් ගෙවනු ලබයි.

එක් එක් මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර ප්‍රමාණය පදනම් කරගනිමින් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ඩීසල් ලීටර් 419.76ක ප්‍රමාණයක් පදනම් කරගනිමින් සෑම මාසයකම පළමු වන දිනට වෙළඳපොළේ ඩීසල් ලීටරයක අනුමත මිල ගණන් අනුව ඉන්ධන දීමනාව ගෙවනු ලබයි.