අද (03) පස්වරුවේ අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 44 දෙනෙකු මුදාගෙන ඇත.
තවත් 7 දෙනෙකු රෝහල්ගත ප්‍රතිකාර ලබන බවත් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
“1990” සුව සැරිය හදිසි ගිලන් රථ සේවාවේ පාලන අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව අක්‍රිය වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් සංසරණය වන බවට එම ගිලන් රථ සේවාවේ පාලන අධිකාරිය නිරීක්ෂණය කර ඇත.
එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවත් එය ජනතාව නොමග යන සුළු ප්‍රවෘත්තියක් බව “1990” හදිසි ගිලන් රථ සේවාවේ සභාපති ඇතුළු පාලක මණ්ඩලය අවධාරණය කරයි.
තවද “1990” හදිසි ගිලන් රථ සේවාව දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්තමක වන අතර සුපුරුදු අයුරින් අදාළ සේවාවන් වඩා උසස් සහ කාර්යක්ෂම අයුරින් ඉටු කරනු ලබන බවද සඳහන් කරයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග සඳහා අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කිරීම අනිවාර්ය කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උක්ත විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වීමට පෙර තම ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ වගකීමක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2026 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට යෝජිත 2026 අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කර ගැනීමට උපදෙස් ලබා දෙන ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් දැනුම් දී ඇති බවද සඳහන් කරයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ සියදිවි නසාගැනිමේ අවදානමක් ඇතැයි ඔහුගේ නීතිඥයින් වන ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සහ නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණයට කරුණු වාර්තා කරමින් ප්‍රකාශ කර ඇත.
සුරේෂ් සලේ පිළිබඳව දැනට ලබාදී ඇති අධිකරණ වෛද්‍ය වාර්තා මත පදනම්ව සුරේෂ් සලේට කාන්සාව විශාදය සහ පශ්චාත් කම්පන ආතති අක්‍රමිකතා (PTSD ) ඇතැයි ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවල සඳහන් බව එම නීතීඥයින් සඳහන් කර ඇත.
අද (03) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නඩුව කැඳවු අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇත.
එනිසා සුරේෂ් සලේව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනත් ස්ථානයට සුදුසු මානසික ප්‍රතිකාරයන් සඳහා යොමු කරන ලෙසද ඔහුගේ නීතිඥයින් අධිකරණය හමුවේ ඉල්ලීමක් කර ඇත.
මෝසමක් මගින් මෙම නඩුව කැඳවමින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර මෝසම කැඳවන අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හෝ අගතියට පත් පාර්ශවය නියෝජනය කරන නීතිඥවරුන් පෙනී සිටියේ නැත.
ඒ අනුව සුරේස් සලේ වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෝසම සම්බන්ධයෙන් හෙට (04) දින කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොතිසි නිකුත් කළේය.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා 10% සිට 12.5% දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර ඇත.
කැනඩාව, මෙක්සිකෝව, පකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්ඩ සඳහා 10%ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 45ක් සඳහා 12.5%ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇත.
බලහත්කාර ශ්‍රමය (Forced Labor) භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සහ එමගින් අමෙරිකානු වෙළෙඳ කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ල වන බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාව බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීම සහ එම නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව විමර්ශනයකදී අනාවරණය වූ බව අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සඳහන් කරයි.
ඇඟලුම් සහ රෙදිපිළි ආනයන සඳහා අඩු බදු අනුපාත යටතේ යම් ප්‍රමාණයක් අමෙරිකානු වෙළෙඳපොළට ඇතුළත් කිරීමට ඉඩ සලසන විශේෂ යාන්ත්‍රණයක් ද යෝජනා කර ඇති අතර ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර තිබෙන කුමන්ත්‍රණය නැමති චෝදනාව පවත්වාගෙන යා හැකි බවට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේය.
එම පෙත්සම අද (03) අභියාචනාධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ අතර එම පෙත්සම විභාගය සඳහා ජුනි මස (16) වනදා කැඳවන ලෙසත් අධිකරණය දින නියම කළේය.
මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පහසුකම් වලට හානි සිදුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රහාරයෙන් පසුව කුවේටය ගුවන් ගමන් සහ ගුවන් ගමන් මෙහෙයුම් සියල්ල අත්හිටුවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් එම ප්‍රහාර හමුවේ තුවාලකරුවන් කිහිපදෙනෙක් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද (03) දින කිරිඇල්ල මාටුවාගල මුදුන්කොටුව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමදී එක් පාර්ශ්වයක පුද්ගලයෙකු විසින් අහසට වෙඩි තබා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
අදාළ වෙඩි තැබීම සිදුකළ රිවෝල්වරය සහ සැකකරුවෙකු කිරිඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙක් සොයා විමර්ශන ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර සිදුවූ ගැටුම හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රත්නපුර රෝහල වෙත ඇතුළත් කර ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධව සිදුකෙරෙන විමර්ශන වලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන අද (03) දින නියෝග කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සැකකරුවෙකු ලෙස නම්කර ඇති නඩුව අද (03) දින කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.