Local news

ලොව ප්‍රථම මිනිසුන් රහිත ගුවන් යානය ගමන් අරඹයි.!

ලොව ප්‍රථම මිනිසුන් රහිත ගුවන් යානය ගමන් අරඹයි.!

විශාල භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි ඩ්‍රෝන වර්ගයට අයත් ලොව ප්‍රථම මිනිසුන් රහිත Cai Hong YH-1000S නම් දෙමුහුන් ගුවන් යානය චීනයේ Chongqing නගරයේදී සිය ප්‍රථම ගුවන් ගමන සාර්ථකව නිමකර ඇත.

මෙම ගුවන් යානය චීන අභ්‍යවකාශ තාක්ෂණයෙන් ගුවන් ගමන් සඳහා වන සුදුසුකම් සහ ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදය කරන ලද විශාල ප්‍රමාණයේ ගුවන් යානයක් වන අතර මෙම යානයේ ගුවන් නියමුවෙකු හො කිසිදු නිලධාරියෙකු නොමැත.

ගෝලීය වෙළඳපොළ ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම් සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති මෙම විශාල මිනිසුන් රහිත ගුවන් යානය ජාත්‍යන්තර සැපයුම් සහ බෙදාහැරීම, හදිසි ගලවා ගැනීම සහ ආපදා අවම කිරීම, කෘතිම කාලගුණ වෙනස් කිරීම, සමුද්‍ර නිරීක්ෂණය සහ සමුද්‍රීය අධීක්ෂණය වැනි ක්ෂේත්‍රවල භාවිතා කළ හැකි බවද සඳහන් කරයි.

ඉන්දියාව වෙනුවෙන් ට්‍රම්ප් අඩියක් පස්සට ගනී.!

ඉන්දියාව වෙනුවෙන් ට්‍රම්ප් අඩියක් පස්සට ගනී.!

ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමකට එකඟ වූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් පනවා තිබූ සියයට 25ක තීරු බද්ද සියයට 18 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇත.

ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම් නතර කිරීමෙන් පසු මෙලෙස බදු අඩු කිරීමට ට්‍රම්ප් රජය සිය කැමැත්ත පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදය සමඟ ගිවිසුමකට එළැඹීම ගැන තමා සතුටින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

පරාජය හමුවේ මාලිංග නැවත කැඳවයි.!

පරාජය හමුවේ මාලිංග නැවත කැඳවයි.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර ඇත. 

ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන මූලික වටයේ තරග හතර සඳහා ලසිත් මාලිංග ශ්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ලසිත් මාලිංග එළඹෙන (05) වනදා සිට ශ්‍රි ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතය.

කස්සප හිමිගේ අවසන් සිහිනයත් බොදවෙයි.!

කස්සප හිමිගේ අවසන් සිහිනයත් බොදවෙයි.!

ත්‍රිකුණාමලය ඉඩමේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට.!

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට.!

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුද්ගලයෙක්ට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන ඇත.

එම පහරදීම ගැන සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය ඉදිරියේ පෙනී සිටින ලෙස හේමාල් රණසිංහට අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණද, ඔහු එසේ නොකළ බව වාර්තා වේ.

මහින්ද – ශිරන්ති FCIDයට පැමිණෙයි.!

මහින්ද – ශිරන්ති FCIDයට පැමිණෙයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවට පැමිණ ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.

සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාලව පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට ශිරන්ති රාජපක්ෂ කැඳවා ඇත.

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි.!

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි.!

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.

කෙහෙළියගේ ඥාති සහෝදරයා අත්අඩංගුවට.!

කෙහෙළියගේ ඥාති සහෝදරයා අත්අඩංගුවට.!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් විශුද්ධි කරන චෝදනා මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (03) දින පාන්දර බණ්ඩාර රඹුක්වැල්ලගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ.!

ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ.!

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කරයි.

සත්‍යතාවයකින් තොර අසත්‍ය කරුණු සමාජගත කිරීමට එරෙහිව නීත්‍යානූකූල ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවද ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කරයි.

මෙවැනි අසත්‍යය සහ සංවේදී තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් හේතුවෙන්, සමාජය තුළ අනවශ්‍ය බියක් නිර්මාණය වීම අයහපත් තත්ත්වයක් බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.

දේශපාලන අවශ්‍යතා මත සිදුකරන මෙවැනි ප්‍රචාර දැඩි ලෙස හෙළා දකින බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.

රටම කැළඹු එයාර් බස් ගනුදෙනුව මොකක්ද.?

රටම කැළඹු එයාර් බස් ගනුදෙනුව මොකක්ද.?

2012 – 2013 කාල සීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 13ක් ඉවත් කර ඒ වෙනුවට අලුත්ම යානා 14ක් සේවයට එක්කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වු අතර එම යානා අතරින් A 330 යානා 6ක් සහ A 350 යානා 4ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කර ඇත.

ඒ අනුව 2020 වසරේ ජනවාරි මාසයේ බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය සිදුකළ විමර්ශනයක තොරතුරු හෙලිවීමත් සමග මෙම ගනුදෙනුවේ බරපතල වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය විය.

එයාර් බස් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුව සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 16.84 ක අල්ලසක් ලබාදීමට පොරොන්දු වී තිබූ බව මෙම විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකන් සමාගමේ එවක ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමක ගිණුමකට මෙම මුදලින් ඩොලර් මිලියන 2ක් බැර කර ඇති බව එහිදී හෙළිවිය.

පසුව මෙරට සිදුකල විමර්ශන වාර්තාවක් මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

එම වාර්තාවට අනුව බිරිදට අයත් සමාගමේ නමින් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමට ලැබුණු මුදල් සිංගප්පූරුවේ ගිණුමක් මගින් කපිල චන්ද්‍රසේන අවස්ථා කිහිපයකදී ඕස්ට්‍රේලියාවේ ඇති ඔහුගේ ගිණුමකට මාරුකර යවා ඇත.

තවදුරටත් විමර්ශන සිදුකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙරට ගිණුම් දෙකකටද සිංගප්පූරුවෙන් මුදල් හුවමාරුවී ඇතැයි අනාවරණය වු අතර එම ගිණුම් දෙක අතර ශමින්ද්‍ර රාජපක්ෂට අයත් බැංකු ගිණුමකට 2013 වසරේදී ඇමරිකානු ඩොලර් එක් ලක්ෂය හැට දහසක මුදලක් බැරවී ඇත.

අනතුරුව මේ සම්බන්ධයෙන් ශමින්ද්‍ර රාජපක්ෂගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ කළද ඔහු ඇමරිකාවේ වාසය කරන බැවින් එය සාර්ථක නොවීය. පසුව හිටපු කථානායක චමල් රාජක්ෂගෙන් මීට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම එයාර් බස් ගනුදෙනුව පිළිබඳ තීරණ ගැනීමේදී අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයේ ශමීන්ද්‍ර රාජපක්ෂ සිටි බවත් ඊට අදාළ රැස්වීම කථානායක නිල නිවසේදී පවත්වා ඇති බවත් විමර්ශන වලදී හෙලිවී ඇත.