Foreign news

ඉරාන උත්තරීතර නායක කමේනිගෙන් සැර ප්‍රකාශයක්

ඉරාන උත්තරීතර නායක කමේනිගෙන් සැර ප්‍රකාශයක්

කලාපය තුළ මින් ඉදිරියට අමෙරිකානු හමුදා කඳවුරුවලට ආරක්ෂිත තෝතැන්නක් හෝ රැකවරණයක් නොලැබෙනු ඇතැයි ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සඳහන් කරයි.

ටෙහෙරානය සහ වොෂින්ටනය අතර මාස තුනක් තිස්සේ පවතින දරුණු යුද්ධය අවසන් කිරීමේ රාමුවක් පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කරමින් සිටින පසුබිමක ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි මේ බව සඳහන් කරයි.

කලාපය තුළ පැරණි තත්ත්වයට යා නොහැකි බවත් අමෙරිකාවට නපුර පතුරුවන්නට හෝ නව හමුදා කඳවුරු පිහිටුවන්නට ආරක්ෂිත ස්ථාන හිමි නොවන බවද නායක මොජ්තාබා කමේනි සඳහන් කරයි.

හජ් උත්සවය නිමිත්තෙන් රාජ්‍ය රූපවාහිනිය හරහා නිකුත් කළ පණිවුඩයකින් මොජ්තාබා කමේනි සඳහන් කළේ,

“කාලය ආපස්සට හැරවිය නොහැකි අතර, කලාපයේ ජනතාව සහ භූමි තවදුරටත් ඇමෙරිකානු හමුදා කඳවුරු සඳහා ආරක්ෂිත ආවරණ නොවනු ඇත.”

මේ අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළේ, ඉරාන ගුවන් සීමාවට ඇතුළු වූ අමෙරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළූ බවයි.

හිස්බුල්ලාට එරෙහි ප්‍රහාර තවත් දැඩි කරනවා

හිස්බුල්ලාට එරෙහි ප්‍රහාර තවත් දැඩි කරනවා

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක බලකායට නිල වශයෙන් නියෝග කර ඇත.

තමන් හිස්බුල්ලා සංවිධානය සමඟ යුද්ධයක පසුවන බවත් ඔවුන් සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම සඳහා හමුදා ප්‍රහාරවල වේගය තවදුරටත් වැඩි කළ යුතු බවද අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරයි.

මෑත සති කිහිපය තුළ ප්‍රහාරවලින් හිස්බුල්ලා සටන්කාමීන් 600කට අධික පිරිසක් මියගොස් ඇති බවත් උතුරු ඊශ්‍රායලයට එල්ල කරන ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර වනතුරු හිස්බුල්ලා වෙත ප්‍රහාර දැඩි කරන බවද බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරයි.

නෙතන්යාහුගේ ප්‍රකාශයෙන් පසුව ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයට අමතරව නැගෙනහිර ලෙබනනයේ පිහිටි බෙකා නිම්නය සහ තවත් ප්‍රදේශ රැසක හිස්බුල්ලා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇත.

ජලයෙන් යට වූ භූගත ගුහාවක පිරිසක් සිරවෙයි

ජලයෙන් යට වූ භූගත ගුහාවක පිරිසක් සිරවෙයි

සතියකට ආසන්න කාලයක් ලාඕසයේ ජලයෙන් යට වූ භූගත ගුහාවක සිරවී සිටින පුද්ගලයින් හත් දෙනෙකු බේරා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම්  වන විට දැඩි පරිශ්‍රමයක් යොදමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම හත් දෙනා මධ්‍යම පළාතේ ෂයිසොම්බුන් ගම්වැසියන් පිරිසක් වන අතර ඔවුන් පසුගිය බදාදා රන් හා වනජීවීන් සෙවීම සඳහා ගුහාවට ගොස් ඇති නමුත් වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් ගුහාවේ දොරටුව අවහිර වී පිටතට යාමට නොහැකිව එහි සිරවී ඇත.

එම අවස්ථාවේදී අනතුරෙන් බේරීමට සමත් වූ පුද්ගලයෙකු විසින් බලධාරීන්ට කරන ලද දැනුම්දීමකට අනුව මෙම විශේෂ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

ගුහා කිමිදුම්කරුවන් සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යටවී ඇති පටු, මඩ සහිත මාර්ග හරහා ගුහාව තුළට යමින් සිටින බව ගලවා ගැනීමේ කණ්ඩායම් සඳහන් කරයි.

විශේෂඥයින් කිහිප දෙනෙකුද මෙම ගලවා ගැනීමේ කටයුතු වලට සහාය වන පිරිස අතර සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මරුට

ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මරුට

අමෙරිකාවේ ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක් සිදු කළ පුද්ගලයෙක්ට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීම වන අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර එම වෙඩි හුවමාරුවේදී අසල සිටි තවත් සිවිල් වැසියෙකුට වෙඩි වැදී තුවාල ලබා ඇත.

ධවල මන්දිරයේ ප්‍රධාන ආරක්ෂක කලාපයට ආසන්න වීදියක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ රහස් ඔත්තු සේවා සහ පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශය වටලා ඇත.

සිද්ධියත් සමඟ ධවල මන්දිරය අවට මාර්ග තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරුණු අතර පරිශ්‍රයේ ආරක්ෂාව උපරිම මට්ටමකින් තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

ඉරානයෙන් අමෙරිකාවට බරපතල අනතුරු ඇඟවීමක්

ඉරානයෙන් අමෙරිකාවට බරපතල අනතුරු ඇඟවීමක්

අමෙරිකාව විසින් ඉරානයට යළි ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ බව ප්‍රකාශ කිරීමත් සමඟ, ඉරානය බරපතල අනතුරු ඇඟවීමක් කර නිකුත් කර ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නැවත ඉරානයට ප්‍රහාර එල්ල කළහොත්, මෙම යුද්ධය මැදපෙරදිගින් ඔබ්බට ලෝකයේ අනෙක් කලාප වලටත් ව්‍යාප්ත කරන බව ඉරානය සඳහන් කරයි.

අම‍ෙරිකාව සහ ඉරානය අතර සටන් නැවැත්වීමේ එකඟතාවයකට පැමිණ සති කිහිපයක් ගතවී ඇතත්, සාමය උදාකර ගැනීම සඳහා වන සාකච්ඡා මේ වනවිට ඇනහිට ඇත.

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්

අද (20) දින ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ දකුණු දූපත්වල භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කගෝෂිමා ප්‍රාන්තයේ දකුණු දූපත්වලට රිච්ටර් මාපකයේ 5.9ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ජනපති චීනයට

රුසියානු ජනපති චීනයට

නිල සංචාරයක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ බීජිං නුවරට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් චීන සංචාරය අවසන් කර සතියක් යාමට මත්තෙන් රුසියානු ජනාධිපතිවරයා චීනයේ සංචාරය කිරීම විශේෂත්වයකි.

චීනයේ බීජිං නුවර ගුවන්තොටුපළේදී චීන විදේශ අමාත්‍යවරයා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ව පිළිගත්තේය.

මෙම සංචාරයේදී රුසියානු ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉබෝලා වසංගතයෙන් මියගිය ගණන තවත් ඉහළ⁣ට

ඉබෝලා වසංගතයෙන් මියගිය ගණන තවත් ඉහළ⁣ට

ඉබෝලා වසංගතය හේතුවෙන් කොංගෝහි මියගිය පුද්ගලයින් ගණන 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර එම රෝගය වැළදුණු රෝගීන් 390කට අධික පිරිසක් මේ වනවිට හඳුනාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසංගතය හේතුවෙන් මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අනුමත ඖෂධ හෝ එන්නත් නොමැතිව ඉබෝලා වින්දිතයින්ගේ අවමංගල්‍ය උත්සව ඇතුළු අවස්ථා වලට සහභාගී නොවන ලෙසද එරට බලධාරීන් ජනතාව දැනුවත් කර ඇත.

මෙම ඉබෝලා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පසුගිය ඉරිදා දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.

ඉරානයට එල්ල කිරීමට තිබූ දැවැන්ත ප්‍රහාරය නවතී

ඉරානයට එල්ල කිරීමට තිබූ දැවැන්ත ප්‍රහාරය නවතී

ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරයක් තමා තාවකාලිකව නතර කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මැදපෙරදිග පවතින යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

“හෙට දින ඉරානයට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාරය සිදු නොකරන බවට මම අමෙරිකානු හමුදාවට උපදෙස් දුන්නා. නමුත්, පිළිගත හැකි එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත්, ක්ෂණික දැනුම්දීමකින් ඉරානය වෙත පූර්ණ, මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් සිටින ලෙස ඔවුන්ට වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.”

තෙල් සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාවෙන් යෝජනාවක්

තෙල් සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාවෙන් යෝජනාවක්

ඉරානය – අමෙරිකාව අතර වොෂින්ටනයේදී සකස් වෙමින් පවතින නව කෙටුම්පත් සාකච්ඡා රාමුවක කොටසක් ලෙස, ඉරානයේ තෙල් ක්ෂේත්‍රයට පනවා ඇති සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව එකඟ වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

නව යෝජනාව පෙර යෝජනා වලට වඩා වෙනස් වන්නේ, අවසන් එකඟතාවකට පැමිණීමෙන් පසුව පමණක් සම්බාධක ඉවත් කිරීම වෙනුවට සාකච්ඡා ක්‍රියාවලිය සිදුවන අතරතුරදීම ඇතැම් සම්බාධක ලිහිල් කිරීමට මෙයින් අවස්ථාව සලසා දී ඇති බැවිනි.

එහෙත් දිගුකාලීන ගිවිසුමකට එළඹීම සඳහා අමෙරිකාව විසින් පනවා ඇති සියලුම සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවට ඉරානය දිගින් දිගටම අවධාරණය කර ඇත.

✕
⌃ News
📰 Free News Subscription?